
බොරැල්ලේ මාරක දොඹකරයක් වාහන 9 ක් හප්පා ජීවිතයක් බිලි ගනී
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සහ දිවයිනේ තවත් ප්‍රදේශ රැසකදී සිදු වූ මාරක අනතුරු කිහිපයකින් ගත වූ පැය විසිහතර තුල වාර්තා වුණා.
මේ අතර අද(28) උදෑසන බොරැල්ල ප්‍රදේශයේදී දොඹකරයක් තවත් වාහන 9 ක ගැටීමෙන් දරුණු අනතුරක් සිදු වුණා.
බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේදී තිරිංග රහිතව පැමිණි දොඹකරයක් වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් මෝටර් රථයක් ඇතුළු තවත් වාහන කිහිපයක ගැටීමෙන් දරුණු අනතුරක් සිදු වුණා.
බොරැල්ල කනත්ත ආසන්න ආලෝක සංඥා පුවරු ඉදිරිපිටදී සංඥා ලැබෙන තුරු මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක ගැටී යතුරු පැදිකරුවන් හය දෙනෙකු යට කරමින් මෙම දොඹකරය ගමන් කර තිබූ අතර පසුව එය පදික මංතීරුවේ වැටේ ගැටී නැවති තිබුණා.
මෙම අනතුරින් එක් යතුරු පැදිකරුවෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ තවත් කිහිප දෙනෙකුම කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
අනතුර සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන විට දොඹකරයේ රියදුරා සහ රිය සහයක බොරැල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම අනතුර හේතුවෙන් අද උදෑසන බොරැල්ල ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද නිර්මාණය වී තිබූණා.
මේ අතර ඊයේ පස්වරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර (175) අගුණකොළපැලැස්ස ප්‍රදේශයේදී, මත්තල දෙස සිට කොළඹ දෙසට පැමිණි කුඩා වෑන් රථයක ටයරයක් පුපුරා යාමෙන් වේගය පාලනය කරගත නොහැකිව පෙරළී යාමෙන් අනතුරක් සිදු වුණා.
එම අනතුරකින් එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකුට දිවි අහිමි වූ අතර එහි ගමන් ගත් තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ රියදුරු ඇතුළු තවත් පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා අගුණකොලපැලැස්ස ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කෙරුණු බවයි වාර්තා වන්නේ.
අනතුරින් මියගොස් ඇත්තේ වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි 72හැවිරිදි සහ 44 හැවිරිදි වියේ පසු වූ කාන්තාවන් දෙදෙනෙක්.
මේ අතර වව්නියාව පුවරසන්කුලම ප්‍රදේශයේදී ද ඊයේ මාරක රිය අනතුරක් සිදු වූ අතර ත්‍රිකුණාමලය සිට කිලිනොච්චිය දක්වා යතුරුපැදියකින් ගමන් ගත් තරුණයෙකු මාර්ගය අසල විදුලිකණුවක ගැටීමෙන් එම අනතුර සිදුව තිබුණා.
අධික වේගය එම අනතුරට හේතු වී ඇති අතර 23 හැවිරිදි වියේ පසුවූ අදාල තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බවටයි වාර්තා වන්නේ.