මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තිදෙනෙකුට මරණ දඬුවම

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තිදෙනෙකුට මරණ දඬුවම

2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහු දින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 179කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගෙන හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කර තිබෙනවා

2018 වසරේ දෙසැම්බර් මස පස් වන දා බේරුවල ධීවර වරාය ආශ්‍රිත මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 179 යි ග්‍රෑම් 180 කට අධික ප්‍රමාණයක් බහුදින ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටියදී විත්තිකරුවන් 08 දෙනකු නාවික හමුදාව මගින් අත් අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ විත්තිකරුවන් අටදෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදීත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ මෙම විත්තිකරුවන් අතුරින් තුන්දෙනෙකුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති නිසා ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන බවයි

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය නියම කළා

 

Share This