
මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් දියවඩන නිලමේ පත් කිරීම ගැන විශේෂ නිවේදනයක්
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සිදුකරන අපහාසාත්මක සංවාද හේතුවෙන් උභය මහා විහාරවල සහ සමස්ත බෞද්ධ සමාජයේම ගෞරවයට හානි සිදුවෙමින් පවතනි බව මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ පුද්ගලික න්‍යාය පත්‍රයක් පෙරදැරිව විිවිධ සංවිධාන හා පුද්ගයන් මේ දිනවල පැවැත්වෙන දියවඩන නිලමේ නිලවරණය මුල්කරගෙන මෙවැනි ක්‍රියාවල නිරත වන බවයි.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ වසර 10 ක ධුර කාලය ඉකුත් දා අවසන් වූ අතර මේ වන විට ඒ සඳහා නැවත නිලවරණයක් පැවැත්වීමට පසුබිමක සකස් කෙරෙමින් පවතිනවා.
ඒ සඳහා වර්තමාන දියවඩන නිලමේවරයා ඇතුලු අපේක්ෂකයන් 06 දෙනෙකු තරග වැදී සිටින බවටයි වාර්තා පළ වන්නේ.
එවන් පසුබිමක දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් විවිධ අපහාසාත්මක සංවාද සිදුවෙමින් පවතින බව මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් දෙනමගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
එමගින් උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේම ගෞරවයට හානියක් සිදුවන බවයි එහි දක්වා ඇත්තේ.
සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේගේ ගිහිභාරකාරීත්වය පැවරෙන්නේත් දියවඩන නිලමේවරයාටයි.
එම ධුරයේ කටයුතු දියවඩන නිලමේවරයා විසින් මල්වතු අස්ගිරි උභය මහාවිහාරීය ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ මාර්ගෝපදේශයන් අනුව සිදුකළ යුතු වනවා.
නිල කාලය අවසන් වීමෙන් අනතුරුව මේ වන විට නව දියවඩන නිලමේ වරයෙකු තෝරාපත් කරගැනීමට නියමිත අතර ඊට ඉදිිරිපත් වී ඇති අපේක්ෂයක් අතර මේ වන විට දැඩි තරගකාරී මුහුණුවරක් නිර්මාණය වෙමින් තිබෙනවා.
එම පසුබිමේ තමන් සහයෝගය දක්වන අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණුනි විවිධ බාහිර පාර්ශ්ව සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වීමත්, බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයන් සමාජ ගතවීමත් සංවේගයට කරුණක් බවයි මල්වතු අස්ගිරි නාහිමිවරුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඇතැම් සංවිධාන හා පුද්ගලයින් දියවඩන නිලමේ තනතුර ඇතුලු සිද්ධස්ථාන සම්බන්ධ ගිහි තනතුරු පිළිබඳ සාවද්‍ය කරුණු ප්‍රචාරය කරමින් සාම්ප්‍රධායික බෞද්ධ සිද්ධස්ථාන හා සබැඳි චාරිත්‍රයන් සම්බන්දයෙන් සෘණාත්මක හා වෛරී ආකල්ප ව්‍යාප්ත කරමින් සමාජ අසමගියට හේතුවන අනවශ්‍ය සංවාද ඇතිකිරීමට ද මේ දිනවල කටයුතු කරමින් සිටින බව මහනාහිමිවරුන් පෙන්වා දෙනවා.
එය හුදෙක් පුද්ගලයානු බද්ධව ලගු කොට සැලකිය නොහැකිවා මෙන්ම එය සමස්ත ලෝකවාසි බෞද්ධයාගේ ප්‍රතිරූප හායනයට හේතුවන බරපතල ඛේදවාචකයක් බවට පත්වී තිබීමත් කණගාටුවකට කරුණක් බව මහා නාහිමිවරුන් පවසනවා.
එමෙන්ම දළදා මාලිගාවේ චිරාගත් සම්ප්‍රධායන් ආරක්ෂා කොට පවත්වාගේන ඒම ඇතුළු දළදා වහන්සේගේ සුරක්ෂාව උදෙසා භාර ධුර වගකීම් පැවරෙන දියවඩන නිලමේ වරයා ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද බෞද්ධ ප්‍රබෝදය සඳහා උරදෙමින් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් බවයි මල්වතු අස්ගිරි නාහිමියන්වහන්සේ සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.
එකී කාර්යය සාධනයේ අවශ්‍යතාව හා වගකීම් සමුදාය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමේ ස්වකීය ශක්‍යතාව නිසි සැලසුම් මගින් පැහැදිලි කර දීම දියවඩන නිලමේ ධුරය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයේකුගේම වගකීම බවද උන්වහන්සේලා අවධාරණය කරනවා.
දියවඩන නිලමේ නිලවරණ සමයේ පුද්ගලික න්‍යාය පත්‍රයක් පෙරදැරිකර ගනිමින් බෞද්ධ සමාජය අපහාසයට ලක්කරමින්, පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදුකරන වෛරී සහගත ප්‍රකාශයන් හෙලා දකින මහ නාහිමිවරුන් දෙපල එවැනි පටු අරමුණු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී දළදා මාලිගාවේ මෙන්ම දියවඩන නිලමේ ධුරය, බස්නායක නිලමේ ධුරය ඇතුලු සිද්ධස්ථාන හා සැබැඳි නිලයන්ගේ සම්භාවනීයත්වය මෙන්ම ගෞරවය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීම සියලු අපේක්ෂකයන් අධි්ෂ්ඨාන කළ යුතු බවත් මහනාහිමිවරුන් වහන්සේලා සිය නිවේදනයෙන් අවධාරණය කරනවා.