
මවක් හා ඇගේ දරුවන් 4දෙනා ඝාතනයට, ශ්‍රි ලාංකික තරුණයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
2024 දී කැනඩාවේ ඔටාවා හිදී පිහි ඇනුම් ප්‍රහාරයකින් මවක්, ඇගේ කුඩා දරුවන් හතර දෙනා සහ පවුලේ මිතුරෙකු ඝාතනය කළ බවට පිළිගත් ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නැමැති තරුණයාට එරට අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
අදාළ නියෝගය ප්‍රකාශ කරමින් අධිකරණය දැනුම් දී ඇත්තේ සැකකරුට දඬුවම ලිහිල්කර ගැනීමක් හෝ ලැබීමට වසර 25ක් අනිවාර්ය සිර දඬුවම් විදිය යුතුය බවය.
ෆෙබ්‍රියෝ ඩි-සොයිසා පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හතරක්, දෙවන මට්ටමේ මිනීමැරුම් චෝදනා දෙකක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවකට වරද පිළිගෙන තිබුණි.
මෙම ඝාතනයෙන් එකම පවුලේ මව වූ දර්ශනී බණ්ඩාරනායක (35), ඉනූක වික්‍රමසිංහ (07), අශ්විනී වික්‍රමසිංහ (04), රින්යානා වික්‍රමසිංහ (02), කෙලී වික්‍රමසිංහ (02) ඝාතනය විය. ඊට අමතරව එම නිවසේ සිටි ගාමිණී අමරකෝන් (40) නම් අයෙක්ද ඝාතනය වූ අතර, දරුවන්ගේ පියා බරපතළ තුවාල ලැබුවා.
ඔන්ටාරියෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කෙවින් ෆිලිප්ස් මෙම ඝාතනය “නගර ඉතිහාසයේ වඩාත්ම බිහිසුණු අපරාධවලින් එකක්” ලෙස හදුන්වා තිබෙනවා.
‘ප්රචණ්ඩත්වය, බිහිසුණු බව සහ අත්භූත‘ එකක් ලෙස සඳහන්කල විනිසුරුවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, “ඔබ පවුල් දෙකක් විනාශ කර මුළු ප්රජාවක්ම විනාශ කළා” යනුවෙනි.
ෆෙබ්‍රියෝ ඩි-සොයිසා පොලිසියට පවසා තිබුණේ තමා මානසික අවපීඩනයෙන් පෙළුණු බවත් පාසලේදී අසමත් වීමෙන් පසු තම ශිෂ්‍ය වීසා බලපත්‍රය අහිමි වේ යැයි බිය වූ බවත්ය.
මෙම ප්‍රහාරයට සති කිහිපයකට පෙර ඝාතන සඳහා යොදා ගත් පිහිය අන්තර්ජාලය හරහා මිලදී ගත් බවත් අනාවරණවී ඇත.
කෙසේ නමුත් ඩි-සොයිසාගේ මානසික තත්ත්වය ඔහුගේ ක්‍රියාවන්ට නිදහසට කරුණක් බවට වන ඕනෑම යෝජනාවක් විනිසුරු පිලිප්ස් ප්‍රතික්ෂේප කළ අතර, “ඔහු කරන දේ ගැන සම්පූර්ණයෙන්ම දැනුවත්ව සිටි” බවත් පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
