මහත්වරුන්ගේ ක්‍රීඩාව ගෞරවාන්විතකළ “ශ්‍රී ලංකා කණ්ඩායම”ට, පාකිස්ථාන ක්‍රිකට් සභාපතිගේ ආචාරය

මහත්වරුන්ගේ ක්‍රීඩාව ගෞරවාන්විතකළ “ශ්‍රී ලංකා කණ්ඩායම”ට, පාකිස්ථාන ක්‍රිකට් සභාපතිගේ ආචාරය

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී බෝම්බ පටවා ගත් මෝටර් රථයක් ජනාකීර්ණ මාර්ගයක ගමන් කරමින් තිබියදී පුපුරායාමෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලැබුවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පාකිස්ථානයට ඍජුව චෝදනා එල්ල නොවුනත් පැය 48 ක් යන්නටත් මත්තෙන් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා.

ඉන් පුද්ගලයින් 12 දෙනෙකු මරණයට පත්වූ අතර තවත් 27 දෙනෙකු තුවාල ලැබුවා.

ඒ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම සමගින් එක්දින තරගාවලියකට සහ සිම්බාබ්වේ කණ්ඩායමද එක්වන තුන්කොන් 20-20 තරගාවලියකට එක්වීම සඳහා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් වෙත පැමිණ තිබුණා.

මෙම පුවත ක්‍රීඩකයින්ගේ පවුල්වල සාමාජිකයින්ගේ කණවැකීමත් සමග ක්‍රිකට් ක්‍රීඩකයින්ට පීඩනය එල්ලවුණා.

ඒ අනුව එරට රැදී සිටි බහුතරයක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඉල්ලීම වී තිබුණේ තරගාවලිය අත්හිටුවා ශ්‍රී ලංකාව වෙත යළි ගමන් කිරීමට අවශ්‍ය බවයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට පාකිස්ථානයේ ආරක්ෂව පිළිබද මතුවූ ගැටලු හේතුවෙන් යළි ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවට ඉල්ලා ඇති බවයි.

කෙසේ වෙතත් පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමගින් සියලු ආරක්ෂක සැලසුම් සහ ක්‍රීඩකයින්ගේ යහපැවැත්මට අදාල සියලු කරුණු සාකච්ඡා කිරීමෙන් පසු තවදුරටත් ආරක්ෂාව තර කිරීමට පාකිස්ථානය කටයුතු කර ඇති බව එම නිවේදනයේ සඳහන්.

ඒ හේතුවෙන් නියමිත පරිදි මෙම තරගවලට එක්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට දැනුම්දී තිබෙනවා.

ලබාදී ඇති නියෝගය නොතකා කටයුතු කරන ක්‍රීඩකයින්ට විනය පියවර ගැනීමට අදාල කරුණුද මෙම නිවේදනයේ සඳහන්.

මෙම සිදුවීමට ප්‍රතිචාර දක්වමින් පාකිස්ථානු ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් විශේෂ රැස්වීමක් ඊයේ සවස පවත්වා තිබෙනවා.

ඊට පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති, පාකිස්ථානු ස්වදේශ කටයුතු අමාත්‍ය මොසීන් නක්වි මහතා ඇතුලු පාකිස්ථානු ප්‍රධාන ආරක්ෂක බලධාරීන් 50 කට ආසන්න පිරිසක් එක්ව සිටි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතා ස්වර්ණවාහිනයට අදහස් දක්වමින් පැවසුවේ.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂවට රදවා සිටි ආරක්ෂක භයිටයින් සංඛ්‍යාව දෙගුණ කිරීමට පියවර ගත් බවත්, එක්දින තරගාවලියේ සහ සිම්බාබ්වේ කණ්ඩායම ද එක්වන තුන්කොන් තරගාවලියේ සියලු තරග එක් ක්‍රීඩාංගනයකදී පමණක් පැවැත්වීමටත් එහිදී තීන්දුකර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාද ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාකිස්ථානු රජය සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳවද පැහැදිලි කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට පාකිස්ථානය තුළ තවදුරටත් රැදී සිටීමට එකඟත්වය පළ කර තිබෙනවා.

එමෙන්ම තරග කාලසටහනේ වෙනසක් සිදුකර ඇති අතර අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය හෙට පැවැත්වෙන අතර ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අවසන් සහ තෙවන එක්දින තරගය 16 වැනිදා පැවැත්වීමට නියමිතයි.

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමද එක්වන තුන්කොන් 20-20 තරගාවලිය ලබන 19 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර එය ලබන 20 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.

Share This