මාධ්‍යවේදියකු ලෙස පැමිණ හරක්කටා ඝාතන උත්සාහයේ දෙවන සැකකරුත් පොලිස් අත්අඩංගුවට

මාධ්‍යවේදියකු ලෙස පැමිණ හරක්කටා ඝාතන උත්සාහයේ දෙවන සැකකරුත් පොලිස් අත්අඩංගුවට

හරක් කටා ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකු ලෙස වෙස් ගෙන සිටි පුද්ගලයෙකු මහරගම ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත්තා.

පසුව ඊට අදාළව තවත් සැකකරුවෙකු දොඹගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වෙඩි තැබීමට සුදුසු පරිදි කැමරාවේ ගිනි අවිය සවිකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුගෙන් පැය 48ක කාලයක් සහ මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් සැකකරුගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම බැකෝ සමන් සහ තැඹිලි ළහිරුගෙන් දින 04ක කාලයක් තුළ සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ තොරතුරු ඇතුළු තවත් ඝාතන පිළිබඳ තොරතුරු මෙන්ම ගණේමුල්ල සංජීව ඝාතනයේ තොරතුරු රැසක් ද අනාවරණ කර ගැනීමට හැකිවී තිබෙනවා.

මේ අතර කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ත සහ පානදුර නිලංග යන අයගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී මනුෂ්‍ය ඝාතන පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධ තොරතුරු මෙන්ම ඝාතන තැතක් පිළිබඳවද අනාවරණ කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

එහිදී අනාවරණ වී අත්තේ අත්අඩංගුවේ පසුව හරක්කටා අධිකරණ පරිශ්‍රයකදී ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකුසේ වෙස් ගන්වා සූදානම් කර සිටි බවටයි.

රැඳවුම් නියෝග දීර්ඝ කිරීම සඳහා හරක්කටා අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය පරිශ්‍රය වෙත රැගෙන එන අවස්ථාවේදී එලෙස ඔහු ඝාතනය කිරීම සඳහා සුදානම්ව සිට ඇතත් අධිකරණ පරිශ්‍රයේ තිබූ දැඩි ආරක්ෂක තත්ත්වය මත එම ත්සාහය ව්‍යර්ථ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එලෙස හරක් කටා ඝාතනය සඳහා මාධ්‍යවේදියෙකු සේ වෙස් ගන්වා සූදානම් කරසිටි වෙඩික්කරුවෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් මහරගමදී ඊයේ අත්අඩංගුවට ගත්තා.

එහිදී සැකකරු සතුව තිබූ වීඩියෝ කැමරාවක් සහ ගිනි අවියක් ද සොයාගනු ලැබුවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමජික කෙහෙල්බද්දර පද්මේගේ අවශ්‍යතාව මත බැකෝ සමන්ගේ පාර්ශ්වය විසින් මෙම ඝාතනය සිදුකිරීම සඳහා සූදානම්ව තිබූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයෙන් පලා යාමට තැත්කිරීමේදී තුවාල ලැබු වලස් කටා නැමැත්තා ප්‍රතිකාර අවසන් වීමෙන් පසු නැවත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට රැගෙන විත් තිබෙනවා.

එහිදී පොලිසිය කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් විමසීමක් සිදුකර තිබෙනවා.

එහිදී ඔහු, ප්‍රධාන පොලිස් පරීක්ෂක සී. අයි. ලින්ටන් ද සිල්වා මහතාට පවසා ඇත්තේ ” සර් චණ්ඩියා හම්බ වුණාලු නේද?
මට මැවිලා පේනවා සර්, මහ ලොකු චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණු ඇඹරිල්ල.” යනුවෙන්.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස් දෙනා පිළිබඳ විමර්ශන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සහ බස්නාහි උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබනවා.

 

Share This