මාලමුල්ල සාදයේ මිනීමැරුම කුඩු සලිඳුගේ ඕඩරයක්

මාලමුල්ල සාදයේ මිනීමැරුම කුඩු සලිඳුගේ ඕඩරයක්

පානදුර, මාලමුල්ල ප්‍රදේශයේ නිවසක ඊයේ (29) අලුයම සිදුවූ වෙඩි තැබීම ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු සලිඳුගේ මෙහෙයවීම මත සිදුවී ඇති බව පොලිස් විමර්ශන තුළින් අනාවරණය කරගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඝාතකයන්ගේ ඉලක්කය වී සිටි චතුරංග නැමැත්තා මෙම ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මේ වන විටත් අතුරුදන්ව ඇති බව පොලිසිය සඳහන් කර සිටියා.

පසුගියදා අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසු මුහුදු මාර්ගයෙන් රටින් පලාගිය කුඩු සලිඳු විදෙස්ගතව සිට මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවයි පොලිසිය අනාවරණය කරගෙන තිබෙන්නේ.

ඝාතකයන් එල්ල කළ ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර පිංවල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවූ කසුන් හරිස්චන්ද්‍ර නැමති අයෙක්.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී සිටි චතුරංග නමැත්තා මීට වසරකට පෙර කුඩු සලිඳුගේ සමීපතම ගෝලයෙකු ලෙස කටයුතු කර ඇති බව සඳහන්.

එහිදී ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති චතුරංග නැමැත්තා පසු කලෙක කුඩු සලිඳුගේ කල්ලියෙන් ඉවත්වී තිබෙනවා.

මොහු මේ වන විටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මෙම ප්‍රහාරයට හේතුවී ඇති බවයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ චතුරංග නැමැත්තා සාදය පැවති නිවස ඉදිරිපිට ත්‍රිරෝද රථයක සිට ඇති අතර ඔහු දිවගොස් දිවි ගලවාගෙන තිබෙනවා.

මෙම ඝාතනය සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති අතර සිද්ධිය වූ ස්ථානයේ තිබී හිස් උණ්ඩ කොපු 4ක් පොලිසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්.

ඝාතකයන් යතුරු පැදියකින් වෙඩි තැබීම සඳහා පැමිණ ඇති අතර ඔවුන් සොයා ඊයේ (29) අලුයම සිට පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

Share This