මැයි මාසයේ මතුපිට උද්ධමනය 45.3%ක්

මැයි මාසයේ මතුපිට උද්ධමනය 45.3%ක්

2022 මැයි මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 45.3%ක් බව ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසනවා.

ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව මගින් ජාතික පාරිභෝගික මිල දර්ශකය මාසිකව නිකුත් කරනු ලබන අවස්ථාවේ මේ බව අනාවරණ වුණා.

2022 අප්‍රේල් මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 33.8%ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුර තොරතුරු පහතින්..

2022 මැයි මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 27.3%ක හා ආහාර නොවන කාණ්ඩයේ 18.1%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත. එහෙත් 2021 මැයි මාසයේ 6.1%ක්වූ මතුපිට උද්ධමනයට ආහාර කාණ්ඩයේ දායකත්වය 4.7%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 1.4%ක් විය. 2021 මැයි මාසයට සාපේක්ෂව 2022 මැයි මාසයේ උද්ධමනය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර හා ආහාර නොවන කාණ්ඩවල පැවති ඉහළ මිල මට්ටම් ය. ඒ අනුව, ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2022 අප්‍රේල් මාසයේදී 45.1% සිට 2022 මැයි මාසයේදී 58.0% දක්වා වැඩි වූ අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2022 අප්‍රේල් මාසයේදී 23.9% සිට 2022 මැයි මාසයේදී 34.2% දක්වා වැඩි විය.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කලවිට, 2022 අප්‍රේල් මාසයේ 190.3ක් වූ දර්ශකාංකය 2022 මැයි මාසයේ 208.7ක් දක්වා වැඩිවීමක් වාර්තා විය. පසුගිය මාසය හා සංසන්දනය කලවිට 2022 මැයි මාසයේ දර්ශකාංකය 18.4ක වැඩිවීමක් එනම් 9.7ක ප්‍රතිශතකාංක වැඩිවීමක් වාර්තා විය. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ දර්ශක අගය 5.4%කින් වැඩිවීම සහ ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය 4.3%කින් වැඩිවීම දායක වී ඇත.

ආහාර කාණ්ඩය සැළකූවිට සහල්, කිරිපිටි, එළවළු, අළුත් මාළු, පාන්, මිරිස් කුඩු, කරවල, මයිසූර් පරිප්පු, කුකුළ් මස්, සීනි, තිරිඟු පිටි, දෙහි, වියළි මිරිස්, බිස්කට්, බිත්තර, අර්තාපල්, පොල්තෙල්, තුනපහ කුඩු, බනිස්, පැණි බීම වර්ග, පළතුරු, පොල්, ළදරු කිරිපිටි, කඩල, සුදුළුෑණු, ලොකුළුෑණු, මුං ඇට සහ ටින්මාළු යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත. කෙසේ වෙතත් කහකුඩු සහ අමු මිරිස් යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් වාර්තා වී ඇත.

පසුගිය මාසය හා සංසන්දනය කලවිට, 2022 මැයි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය වැඩිවීම සඳහා ‘මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’ (අරක්කු), ‘රෙදිපිළි හා පාවහන්’, ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන’ (ගොඩනැගිලි ද්‍රව්‍ය, LP ගෑස් සහ දර මිලදී ගැනීම), ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’ (සබන් වර්‍ග), ‘සෞඛ්‍ය’ (‍ඖෂධ නිෂ්පාදන මිලදී ගැනීම), ‘ප්‍රවාහන’ (පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු), ‘සන්නිවේදන’ (ස්ථාවර දුරකථන ගාස්තු), ‘විනෝදාත්මක හා සංස්කෘතික’ (පත්තර මිල), ‘ආපනශාලා සහ හෝටල්’ සහ ‘විවිධ භාණ්ඩ හා සේවා’ (සුවඳ සබන් වර්‍ග, මෝටර් වාහන රක්‍ෂණ ගාස්තු) යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත. එසේ වුවත් පසුගිය මාසය හා සංසන්දනය කලවිට ‘අධ්‍යාපන’ කාණ්ඩයේ දර්ශක අගය වෙනසක් වී නොමැත.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්‍ෂ්‍යමය වෙනස්වීම් පදනම්ව නිතර මිල උච්චාවචනය වන ආහාර වර්ග, බලශක්ති සහ ප්‍රවාහන අයිතමයන් ඉවත් කිරීමෙන් පිළිඹිඹු වන යටිදැරි උද්ධමනය (Core Inflation) 2022 අප්‍රේල් මාසයේ 27.9% සිට 2022 මැයි මාසයේ 37.7% දක්වා වැඩිවීමක් වාර්තා විය.

Share This