මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරකින් අපවත් වූ භික්ෂූන්වහන්සේ ගේ අදාහන පූජෝත්සවය අද

මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරකින් අපවත් වූ භික්ෂූන්වහන්සේ ගේ අදාහන පූජෝත්සවය අද

කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී ඩක්කුවක් කඩා වැටීමෙන් අපවත්වූ හිමිවරුන් අතරින් මෙරට භික්ෂූන් වහන්සේ සිව් නමගේ ආදාහන පූජෝත්සව කටයුතු අද පස්වරු 2.00 ට සිදුකිරීමට නියමිතයි.

ඒ මැල්සිරිපුර පන්සියගමදීයි.

කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ආධාරයෙන් ගමන් කරන ඩක්කුවක් කඩා වැටීමෙන් පසුගිය 24 වැනිදා රාත්‍රියේ සිදු වූ අනතුරින් භික්‍ෂුන් වහන්සේ හත් නමක් අපවත් වුණා.

අපවත් වූ භික්‍ෂුන් වහන්සේ අතර විදෙස් භික්‍ෂුන් වහන්සේ තෙනමක් ද වනවා.

තොරතුරු වාර්තා වුණේ තවත් භික්‍ෂුන් වහන්සේ සය නමක් තුවාල ලබා කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ අතර, ඉන් දෙනමක් තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවටයි.

අපවත් වූ භික්‍ෂුන් වහන්සේ හත් නම අතරින් මෙරට භික්‍ෂුන් වහන්සේ සිව් නමකගේ දේහයන් සහ රුසියානු භික්‍ෂුන් වහන්සේගේ දේහය නා උයන පන්සියගම ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කළා.

මේ වනවිට උන්වහන්සේගේ දේහයන් එම ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර දේහයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා භික්‍ෂුන් වහන්සේ, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් එම පරිශ්‍රය අදත් පැමිණියා.

දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 2.00 ට පන්සියගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

අපවත්වී වදාළ ඉන්දියානු සහ රුමේනියානු භික්‍ෂුන් වහන්සේගේ දේහයන් පවුලේ ඥාතීන් විසින් ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වන අතර, එම දේහයන් අදාළ රටවලට ඉදිරි දිනකදී වැඩමකරවීමට නියමිතව තිබෙනවා.

Share This