
මිලියන 98ක අයථා වත්කම් උපයා ගැනීමේ නඩුවේ කෙහෙලිය පවුල වරද පිළිනොගන්නා බව පවසයි
රුපියල් මිලියන 98ක අයථා වත්කම් උපයා ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනාට හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව අද (05) කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ සිය සේවාදායකයින් වරද පිළිනොගන්නා බවයි.
එමෙන්ම පලමු වන විත්තිකරු වන කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් විශේෂ විත්තිවාචිකයක් ඉදිරිපත් කරන බවද ජනාධිපති නිතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට දැනුම් දුන්නා.
කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ නඩුව කැඳවු අවස්ථාවේදී එම දැනුම් දීම සිදුකළා.
නඩුවේ සාක්ෂි විභාගය ලබන සැප්තැම්බර් 10 දක්වා කල්තැබු මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරිමට පෙර පැමිණිල්ල විසින් විත්තියට ලබාදිය යුතු අවශ්‍ය ලේඛන නිසියාකාරව ලබා දී ඇත්දැයි සොයා බැලීම සඳහා එදින නඩුව කැඳවන බවයි.
ඒ අවශ්‍ය ලේඛන මොනවා දැයි සඳහන් වාර්තාවක් සතියක කාලයක් ඇතුලත අධිකරණයට ලබා දෙන ලෙසද විනිසුරුවරිය විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළාය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුවට පාදකව කෙහෙලිය රඹුක්වැල්ලගේ අත්සන් 1000කට ආසන්න ප්‍රමාණයක් එනම් බැංකු ගිනුම්වල සඳහන් ලේඛන ඇතුළු සියලු ලේඛනවල ඇති අත්සන් සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාවක් කැඳවා ඇති බවයි.
එහිදී විනිසුරුවරිය පෙන්වා දුන්නේ එකී රස පරික්ෂණ වාර්තා නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය බැවින් ඒවා ලබාගැනීමට කොපමණ කාලයක් ගතවන්නේදැයි තම අධිකරණයට දැනුම් දෙන ලෙස යි.
එහිදී පලමුවන විත්තිකාර කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළේ මෙම විමර්ශනයේදී තම සේවාදායකයා විසින් අල්ලස් කොමිසමට ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශ වල පිටපත්ද තමන්ට ලබා දෙන ලෙසයි.
ඒ අනුව ඒවා ලබා දෙන ලෙස විනිසුරුවරිය අල්ලස් කොමිසමට නියෝග කළා.
පසුගිය නඩුවාරයේදි කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ අය ඒ රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙරුණා.
ඊට අමතරව විදෙස් ගමන් තහනමන් ද පැනවු අතර ඇඟිලි සලකුනු ලබාගැනීමට ද විනිසුරුවරිය නියෝග කළා.
ඊට අමතරව විනිසුරුවරිය නියෝග කළේ පෙර වැරදි වාර්තාවක් ද කැඳවන ලෙසයි.
චෝදනා 43ක් යටතේ මෙම අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම සඳහන් කළා.
ඒ අනුව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල , බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී , දියනියන් වන අමාලි රඹුක්වැල්ල , නයනිකා රඹුක්වැල්ල , චන්දුලා රඹුක්වැල්ල සහ බැනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අය හට අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබෙනවා.