මීටියාගොඩ වෙඩි තැබීමට සම්බන්ධ යතුරු පැදිය සොයා ගනී

මීටියාගොඩ වෙඩි තැබීමට සම්බන්ධ යතුරු පැදිය සොයා ගනී

මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුකළ වෙඩිතැබීම සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය බද්දේගම පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

තොරතුරු වාර්තා වන්නේ බටපොල – බද්දේගම මාර්ගයේ අම්පෙගම, අම්බලම අසල දමාගොස් තිබු එම යතුරුපැදිය බද්දේගම පොලීසියට ලද තොරතුරකට අනුව සොයාගෙන ඇති බවයි.

පොලීසිය සැක පළකරන්නේ වෙඩික්කරුවන් මීටියාගොඩ, අලුත්වල හරහා බද්දේගම දෙසට ගමන් කරන අතර තුර යතුරුපැදිය මඟ දමා යන්නට ඇති බවටයි.

මේ අතර, මෙම වෙඩිතැබීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ මීටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.

මීටියාගොඩ, කිරලගහවෙල ප්‍රදේශයේ අවන්හලක ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා.

පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අවන්හලේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ කාන්තාවට මෙලෙස වෙඩි තබා ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබුණා

මියගොස් ඇත්තේ 48 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

 

Share This