
මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජයට බෞද්ධ දර්ශනයෙන් කළ හැකි දේ ජනපති කියයි
අධ්‍යාත්මිකව පිරිහුණු සමාජයක් කෙතරම් භෞතිකව දියුණු කළද ඵලක් නොමැති බවත්, ආචාරධාර්මික හා අධ්‍යාත්මික ගුණයෙන් යුතු පුරවැසියන් මඟින් රටක සංස්කෘතික සමාජය ගොඩනැගිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද (21) පස්වරුවේ කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සර සමාරම්භක උත්සවයට එක්වෙමින්.
ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ වාර්ෂිකව සිදු කරන ශ්‍රී දළදා පොසොන් පෙරහැර වර්ෂ 1925 ආරම්භ වී ඇති අතර මෙම සියවස් සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදු කෙරුණා.
ශ්‍රී දළදා පොසොන් පෙරහැර නිමිත්තෙන් ශාස්ත්‍රීය සංග්‍රහයන් දෙකක් එළිදැක්වීම සහ ශ්‍රී දළදා පොසොන් පෙරහැර වෙනුවෙන් ගීතයක් එළි දැක්වීමද මෙහිදී සිදු කෙරුණා.
ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජය ගොඩගැනීම වෙනුවෙන් අධ්‍යාත්මික ජීවය ලබා දීමට ජාතක කතා පොත හා බෞද්ධ සංස්කෘතිය ශක්තිමත් පදනමක් සපයන බවයි.
පාලකයා ජනතාවට ආදරය කරනවා මෙන්ම ජනතාවට වගවීමක් ඇති කිරිමට බුදු දහම තුළින් මග පෙන්වා තිබෙන බවත්, එම අගනා සංස්කෘතික දායදයන්හි අක්මුල් අද සමාජයෙන් බැහැර වී ඇති බවත් ජනාධිපතිවරයා පැවසුවා.
පැරැණි සංස්කෘතික අක්මුල් කැටුව එමින් අධ්‍යාත්මික ජීවයක් ඇති සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළා.