
මුරකරු ඝාතනය කර වෙන්නප්පුවෙන් පැහැරගත් වෑන් රථය මහනුවර
වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසක මුරකරු ඝාතනය කර, පැහැරගත් බව කියන කේඩීඑච් වර්ගයේ වෑන් රථය මහනුවර, පරණ පාරේ නවතා අතහැර දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.
මහනුවර පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඝාතනයට හා වෑන් රථය පැහැර ගැනීම සඳහා මුල් වූ සැකකරුවන් මේ වන විට හඳුනා ගෙන ඇති බවයි.
වෙන්නපුව ප්‍රදේශයේ නිවසක මුරකරු ඝාතනය කර මෙම වෑන් රථය කොල්ලකෑමේ සිද්ධිය වාර්තා වූයේ ඊයේ දිනයේයි.
අපරාධය වූ නිවසේ නිවැසියන් ඉතාලියේ පදිංචිව සිටින අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා එම නිවස බලාගත් මුරකරු ලෙස සේවය කර තිබුණා.
විදේශගතව සිටින නිවැසියන්ගේ ඥාතියෙකු පෙරේදා සවස එම නිවසට පැමිණ ඇති අතර, එහිදී දැකගැනීමට ලැබී ඇත්තේ දෑත් දෙපා ගැට ගසා මුරකරු ඝාතනය කර කාමරයක ඇදක් යටට දමාගොස් තිබූ ආකාරයයි.
නිවස ඉදිරිපිට නවතා තිබූ වෑන් රථය නොමැති බවද ඔහුට නිරීක්ෂණය වී තිබෙනවා.
අදාළ රථය පැහැරගෙන රැගෙන යන ආකාරය සීසීටීවී කැමරාවල මෙසේ සටහන් වී තිබුණා.
අද අලුයම පහට පමණ නවතා දමා ගිය වෑන් රථයේ පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බව පොලීසියට නිරීක්ෂණය වී තිබෙනවා.
කිසියම් අපරාධයක් සඳහා යොදා ගැනීමෙන් අනතුරුව මෙම වෑන් රථය අතහැර දමා ගියේදැයි යම් සැකයක් පවතින බව මහනුවර පොලිසියේ උසස් නිලධාරියෙකු පැවැසුවා.