මෙරට අපරාධකරුවෙකු පිටුවහල් කරන්න කැනඩා අධිකරණයකින් අවසර

මෙරට අපරාධකරුවෙකු පිටුවහල් කරන්න කැනඩා අධිකරණයකින් අවසර

කැනඩාවේ ටොරොන්ටෝහිදී අත්අඩංගුවට ගත් මෙරට අපරාධ කල්ලි සාමාජිකයෙකු පිටුවහල් කිරීමට එරට අධිකරණයක් මගින් අවසර ලබා දී තිබෙනවා.

2022 වසරේදී පැරීසිය ආසන්නයේදී ප්‍රහාරයක් එල්ල කළ බවට වූ චෝදනාවකට අදාළව ප්‍රසන්න නල්ලලිංගම් නමැති එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ටොරොන්ටෝ හි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිට තිබුණා.

අදාළ ප්‍රහාරයෙන් අනතුරුව ඔහු ප්‍රංශයේ සිට කැනඩාව වෙත පලාගොස් ඇති අතර ඒ අනුව ආගමන විගමන කොන්දේසි කඩ කිරීමේ චෝදනාව මත ඔහු කැනඩා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පුද්ගලයින් පිරිසකට මරු කැඳවූ එම ප්‍රහාරය එල්ල කිරීමට අවශ්‍ය වන පහසුකම් සැපයීමට අදාළවයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ.

සැකකරුට එරෙහිව ලැබී ඇති අධිකරණ නියෝගයට අදාළව කැනඩා අධිකරණ අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබෙන තෙක් දින 30ක කාලයක් සඳහා ප්‍රංශ බලධාරීන් භාරයට ඔහු පත්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2016 වසරේදී සිවකුමාරන් ජීවරත්න නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙම සැකකරු අවශ්‍යව සිටි අයෙකු වන අතර ඔහු ප්‍රංශය වෙත පලාගොස් ඇති බවටයි වාර්තා වී තිබුණේ.

ප්‍රසන්න නල්ලලිංගම්ට එරෙහිව කැනඩා අධිකරණය විසින් ලබාදුන් නියෝගයට අදාළව එරට ඉහළ අධිකරණයක් මගින් අභියාචනා කිරීමට අවස්ථාව හිමිවන අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ වන කරුණු ඉදිරිපත් කිරීමට සහ ඔහු ප්‍රංශ බලධාරීන් භාරයට යටත් වීම නැවත්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සොයා බලමින් සිටින බවයි.

Share This