මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සහය

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සහය

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහය දක්වන බව එහි නේවාසික සම්බන්ධීකාරක Marc Andre Franche මහතා පවසනවා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමග අමාත්‍යාංශයේ පැවති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

කර්මාන්ත සංවර්ධනය සනහ රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති දීර්ඝකාලීන වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍යවරයා විසින් එහිදී පැහැදිලි කිරීමක් ද සිදුකර තිබෙනවා.

මෙම වසර අවසන් වන විට අමෙරිකානු ඩොලර් බිලියන තුනකින් අපනයන ආදායම වැඩි කර ගැනීමට රජය සැලසුම් කර ඇති අතර එහිදී එකතු කළ නිෂ්පාදන අපනයනය සඳහා රජයේ විශේෂ අවධානය යොමු කර ඇති බවයි සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ඉඩම් බැංකුවක් ආරම්භ කර ඒ හරහා වගා නොකරන සෑම බිම් අඟලක්ම කර්මාන්ත සඳහා ඵලදායීව යොදා ගැනීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.

වත්මන් රජයේ මෙම සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ Marc Andre Franche මහතා, ඊට ප්‍රශංසාව පළ කර ඇති අතර උතුරු නැගෙනහිර පළාත ඇතුළුව දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ක්‍රියාත්මක කරන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ අඛණ්ඩ සහය ලබාදෙන බවයි සඳහන් කර ඇත්තේ.

එමෙන්ම එම කර්මාන්ත සඳහා අවශ්‍ය තාක්ෂණික සහය මෙන්ම හරිත කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සහය ලබාදීමට ද මෙහිදී එකඟත්වය පළ වී තිබෙනවා.

Share This