මෝරුන් තුළ තිබී හමුවූ කොකේන්

මෝරුන් තුළ තිබී හමුවූ කොකේන්

බ්‍රසීල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හමුවූ මෝරුන් තුළ කොකේන් මත්ද්‍රව්‍ය පවතින බවට පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.

සමුද්‍ර ජීව විද්‍යාඥයින් විසින් රියෝ ද ජැනයිරෝ අසල වෙරළෙන් ලබාගත් බ්‍රසීලියානු ෂාර්ක් මෝරුන් 13 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔවුන්ගේ මාංශ පේශිවල සහ අක්මාවේ කොකේන් ඉහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම ප්‍රමාණය අනෙකුත් ජලජ ජීවීන් සඳහා කලින් වාර්තා වූවාට වඩා 100 ගුණයක ඉහළ අගයක් ගන්නා බව සඳහන්.

කොකේන් මත්ද්‍රව්‍ය නිපදවන නීතිවිරෝධී රසායනාගාර හරහා හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ අසූචි හරහා ජලයට එම මත්ද්‍රව්‍යය මිශ්‍ර වී ඇති බවට සැක පළ කරන බවයි අදාළ සමුද්‍ර ජීව විද්‍යාඥයින් විසින් පෙන්වාදී ඇත්තේ.

කොකේන් මෝරුන්ගේ හැසිරීම වෙනස් කරන්නේද යන්න තහවුරු කර ගැනීමට වැඩිදුර පර්යේෂණ ක්‍රියාත්මක වන අතර මීට පෙර සිදු කරන ලද පර්යේෂණයන් මගින් පෙන්වාදී ඇත්තේ මත්ද්‍රව්‍ය මිනිසුන්ට කරන ආකාරයටම සතුන්ටද බලපෑම් ඇති කළ හැකි බවයි.

කොකේන් භාවිතයෙන් පසු අක්මාව මගින් නිපදවන බෙන්සොයිලෙක්ගොනින් ඇතුළු රසායනික සංයෝග පසුගිය වසරේ එංගලන්තයේ දකුණු වෙරළ තීරයෙන් රැස් කරන ලද මුහුදු ජල සාම්පලවලද තිබී සොයාගෙන තිබුණා.

Share This