යුක්තිය මෙහෙයුමෙන් කඩාදැමූ දෙහිවල හෝටලය ගැන පෙත්සම් 3 විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

යුක්තිය මෙහෙයුමෙන් කඩාදැමූ දෙහිවල හෝටලය ගැන පෙත්සම් 3 විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

ඉකුත් රජය සමයේ යුක්තිය මෙහෙයුම අතරතුර දෙහිවල ප්‍රදේශයේ පිහිටි ‘සෝල් බීච්’ හෝටලය කඩා ඉවත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා එම හෝටලයේ හිමිකරුවන් සහ සේවකයින් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙයි.

ඒ අනුව, අදාළ පෙත්සම් ලබන වසරේ ජනවාරි මස 26 වැනිදා විභාගයට ගැනීමට දින නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට පෙර මෙම නඩුකර සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ගොනු කිරීමට පියවර ගන්න ලෙස එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට නියෝග කළේය.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ යුක්තිය මෙහෙයුම සිදුකරන අතරතුරදී පොලිස් නිලධාරින් සීයක් පමණ පැමිණ මෙම හෝටලයේ සෝදිසිකර පසුව බැකෝ යන්ත්‍ර යොදා කඩා බිද දැමීමට කටයුතු කළ බවයි.

මෙම හෝටලය යාබදව තවත් හෝටල් ගණනාවක් ඉදිකර තිබෙන බවත් එවැනි හෝටල් කිසිවක් කඩා දැමිමට වග උත්තර කරුවන් කටයුතු නොකළ බවත් මේ ක්‍රියාව තුළින් වග උත්තරකරුවන් හිතාමතාම පෙත්සම්කරුවන් අපහසුතාවයට ලක් කිරීමේ අරමුණින්ම එම ක්‍රියාව සිදු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේ ය.

Share This