
යුක්‍රේනය පිළිබඳ වැඩිදුර උපදේශන සඳහා කණ්ඩායම් පත් කිරීමට අමෙරිකාවත් රුසියාවත් එකඟ වෙයි
යුක්‍රේනයේ පවතින යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් දෙරටේ නියෝජිත කණ්ඩායම් අතර සෞදි අරාබියේ රියාද් හි පැවති සාකච්ඡා ධනාත්මක මුහුණුවරකින් අවසන් වී තිබෙනවා.
ඒ පිළිබඳ අදහස් දක්වමින් ක්‍රෙම්ලිනයේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක යූරි උෂාකොව් මහතා සඳහන් කළේ, රියාද් හි පැවති සාකච්ඡාවන් හි දී සියලු කාරණා සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර බැරෑරුම් සංවාදයක් ඇති වූ බවයි.
එමෙන්ම යුක්‍රේන ගැටලුව සම්බන්ධයෙන් වන එකිනෙකාගේ අවශ්‍යතා සැලකිල්ලට ගැනීමට අමෙරිකාවත් රුසියාවත් මෙහිදී එකඟතාව පළ කළ බව ද ඔහු අවධාරණය කර සිටියා.
මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක ද දැක්වෙන්නේ යුක්‍රේනයේ ගැටුම්කාරී තත්ත්වයට හැකි ඉක්මනින් කල් පවත්නා වූ ද තිරසාර වූ ද සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි ආකාරයේ විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් ඉහළ මට්ටමේ සාකච්ඡා කණ්ඩායම් පත් කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ බවයි.
තවද ඇමරිකාවේත් රුසියාවේත් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් අතර මෙම සාකච්ඡා අවසානයේ දෙපාර්ශවය අතර අනාගත සහයෝගීතා වෙනුවෙන් අවශ්‍ය මූලික පියවරයන් සඳහා ද ඔවුන් මෙහිදී එකඟත්වය පළ කළ බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.