රටවල් රැසකින් අගමැතිනියට සුබ පැතුම්

රටවල් රැසකින් අගමැතිනියට සුබ පැතුම්

ආචාර්ය හරිනි අමරසූරිය නව අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වීම සම්බන්ධයෙන් රටවල් රැසක තානාපතිවරුන් ඊයේ (03) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඉන්දියාව, ජපානය, බ්‍රිතාන්‍ය, ඇමරිකාව, කොරියාව, බංගලාදේශය සහ මාලදිවයින යන රාජ්‍යයන් නියෝජනය කරන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් මෙසේ සිය සුබ පැතුම් එක්කර ඇති බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මහත්මා ගාන්ධි ජන්ම දින සැමරුමට එක් වූ අතර මහත්මා ගාන්ධි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතින් සිදුකළ බව සඳහන්.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දියානු මහ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමේ ක්‍රමවේද පිළිබඳවත්, ඉදිරි සංවර්ධනයන් වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් වලට එළැඹිම පිළිබඳවත් අවධානය යොමුවී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකි මහතා ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වෙත සිය සුබ පැතුම් එක්කළ බවයි වාර්තා වන්නේ.

මෙසේ රටවල් කිහිපයකම තානාපතිවරුන් අග්‍රාමාත්‍යවරිය වෙත සිය සුබපැතුම් සමඟ රටවල් කෙරෙහි පවතින මිත්‍රත්වය මෙන්ම ජාත්‍යන්තර සබඳතා වර්ධනය කරගැනීමට අවශ්‍ය සාධක ඉදිරිපත් කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර සිටියේ.

Share This