රණ්ඩුවකට මැදිහත් වූ මෙක්සිකෝවේ පොලිස් නිලධාරියෙකු මරුට

රණ්ඩුවකට මැදිහත් වූ මෙක්සිකෝවේ පොලිස් නිලධාරියෙකු මරුට

කුලී රථ රියදුරෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන්ගේ පහරදීමකින් මෙක්සිකෝවේ සකාටෙල්කෝ නගරයේ පොලිස් නිලධාරියෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කුලී රථ රියැදුරා ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකුට ප්‍රදේශවාසීන් විසින් පහර දුන් විට නිලධාරියා මැදිහත් වූ බවයි සඳහන් වන්නේ.

කෝපයට පත් අසල්වාසීන්ගේ මැර ප්‍රහාරයෙන් තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුටද තුවාල සිදුවී තිබෙනවා.

මිනිසුන් හතර දෙනෙක් වයෝවෘද්ධ කුලී රථ රියදුරෙකුගේ මෝටර් රථය කොල්ලකෑමට උත්සාහ කළ අතර, ඔහු විරුද්ධ වූ විට එම රියදුරුව මරා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

සිද්ධිය නිරීක්ෂණය කළ ප්‍රදේශවාසීන් ලුහුබැඳ ගොස් සැකකරුවන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අල්ලා ඔවුන්ට පහරදී ඇති බව සඳහන්.

පසුව පොලිසිය මැදිහත් වී සැකකරුවන් බේරා ගත් නමුත් එම පිරිස නිලධාරීන් දෙසට හැරී ඔවුන්ගෙන් දෙදෙනෙකු අල්ලා ඔවුන්ට පහර දී තිබෙනවා.

එක් අයෙකු ඔහුගේ සගයන් විසින් බේරාගෙන ඇති අතර බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This