රාජ්‍ය දැව සංස්ථාවේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේ දී එළියට

රාජ්‍ය දැව සංස්ථාවේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේ දී එළියට

රාජ්‍ය දැව සංස්ථාව විසින් සේවක අර්ථසාධක අරමුදල් පනත (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් (ETF) පනත්වල ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් 2006 වසරේ සිට 2022 වසර දක්වා කාලයට අදාළව එම අරමුදල්වලට අධිභාර වශයෙන් රු. මිලියන 122 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවී ඇති බව අනාවරණය වී තිබෙනවා.

මේ බව අනාවරණය වී ඇත්තේ රාජ්‍ය දැව සංස්ථාවේ 2022 සහ 2023 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය විමර්ශනය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස් වූ අවස්ථාවේ දීයි.

එසේම සංස්ථාවේ සේවකයන් ගෙවිය යුතු දායක මුදල් රු.මිලියන 126කට ආසන්න මුදලක් සංස්ථාව විසින් ගෙවීමට සිදුවීම හේතුවෙන් සංස්ථාවට රු. මිලියන 248ක අලාභයක් සිදුවී ඇති බවත් විගණකාධිපතිවරයා පවසනවා.

2006 වසරේ සිට සේවකයන්ට ජීවන වියදම් දීමනාවක් ගෙවීමේදී ඊට EPF, ETF ගෙවිය යුතු ද යන්න කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සහ අදාළ ආයතනවලින් විමසා ඇති බවත් ඊට පිළිතුරු ලැබීම පමා වීමෙන් මෙම අලාභය සිදුව ඇති බවත් මෙහිදී අනාවරණය වී ඇති කරුණුයි.

2018 වසරේදී සේවකයෙක් පවරන ලද නඩුවකින් ලබාදුන් අධිකරණ තීන්දුවක් අනුව මෙය ගෙවීමට සිදුවී ඇති බවත් සදහන් වනවා.

මේ සම්බන්ධයෙන් කමිටුවක් ද පත්කර විමර්ශනයක් සිදුකළ නමුත් වගකිව යුතු නිලධාරියෙක් හෝ පාර්ශවයක් ඉන් අනාවරණය නොවූ බවත් නිලධාරීන් මෙහිදී පැවසුවා.

කෙසේ වුවද මෙම කරුණුවල අපැහැදිළි බවක් පෙනී යන බැවින් මේ පිළිබඳව සතියක් තුළ පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට කාරක සභාව විසින් දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය දැව සංස්ථාව ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සහ අලෙවිය මගින් දිගින් දිගටම පාඩු ලැබීම පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා.

මෙම අගයන් 2021 වසරේදී රු. මිලියන 20ක්, 2022 වසරේදී රු. මිලියන 95.6ක්, 2023 වසරේදී රුපියල් මිලියන 72.1ක් සහ 2024 දී රු. මිලියන 75.6 ක් වන ලෙස වාර්තාවන බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

ආර්ථික අර්බුදය ආදී හේතු මෙම අලාභයට හේතුවූ බව නිලධාරීහු මෙහිදී පැවසූ අතර වාර්ෂික විකුණුම් අවශ්‍යතාව මත නිෂ්පාදන අවශ්‍යතාව පුරෝකථනය කිරීම, අලෙවිකරණය සඳහා නව උපායමාර්ග අනුගමනය කිරීම වැනි ක්‍රම තුළින් අලාභය අවම කර සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව මෙහිදී අවධාරණය කළා.

විශ්වාසය දිනූ අනර්ඝතම දැව හා දැවමය භාණ්ඩ සැපයුම්කරුවීම සහ දැව වෙළඳපොලෙහි සැබෑ නායකත්වය ඉසිලීම ආයතනික දැක්ම වුව ද එම අරමුණු සපුරා ගැනීමට ඇති බාධාවන් පිළිබඳව කාරක සභාවේ දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

දැව හා දැව භාණ්ඩ අපනයනය සංස්ථාවේ කාර්යයන් අතර තිබුණ ද අපනයනය සිදු නොකිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වුණා.

පයිනස් අපනයනය සඳහා උත්සහ කළ ද ලංකාවේ නිෂ්පාදිත පයිනස් දැව ප්‍රභේදය සඳහා කර්මාන්තකරුවන්ගේ ඉල්ලුම අඩුවීම සහ මෙරට නිෂ්පාදන වියදම අධිකවීම හේතුවෙන් මෙම උත්සහය අසාර්ථක වූ බව නිලධාරීන් ලාරක සභාවට දැනුම් දී තිබෙනවා.

එසේම ආනයනයේදී දැව සංස්ථාවේ පරීක්ෂාවට ලක්කර සහතිකයක් නිකුත් කළ හැකි මට්ටමට නෛතික වෙනස්කම් සිදුකරන ලෙස ද කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවධානයට යොමු කළා.

අනියම් 11 ක් සහ දෛනික පදනමෙන් 49ක් වන පරිදි ද්වීතියික මට්ටමෙන් කළමනාකාර සහකාර තනතුරෙහි සේවකයන් 60 දෙනෙකු සේවයේ යොදවා තිබීම පිළිබඳව ද අවදානය යොමුවූ කරුණු අතර ප්‍රමුඛයි.

එසේම සේවක සංඛ්‍යාව තුළ අනුමත නොවූ තනතුරු 9 ක පුද්ගලයන් ස්ථිර සේවයේ සිටිමින් වැටුප් ලබා ගැනීම පිළිබඳව ද කාරක සභාවේ අවදානය යොමුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී පැහැදිළි තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම පිළිබඳ කාරක සභාව සිය නොසතුට පළ කළ අතර මේ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙසට දැනුම් දුන්නා.

ආයතනයේ තොග කළමනාකරණ පරිගනක පද්ධතිය නිසි පරිදි නඩත්තු නොවීම පිළිබඳව ද කාරක සභාව විසින් විමසා තිබෙනවා.

2011 වසරේදී ස්ථාපිත කර ඇති මෙම පද්ධතිය නිසි සේවක පිරිසක් නොමැතිවීම සහ යාවත්කාලීන වීම සිදු නොවී ඇති බව හෙළි වුණා.

එය නිසි පරිදි ගොඩ නැගීම සහ අදාළ දත්තවලට සිදුව ඇති දේ පිළිබඳව ද වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාව දැනුම් දුන්නා.

ආයතනයේ මූල්‍ය අංශයේ පවතින වාහන ලේඛනය අනුව සංස්ථාව සතුව පවතින වාහන සංඛ්‍යාව 547ක් වුවද ආයතනයේ නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව ඇති වාහන ගණන 563ක් වීම පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ අනුමතිය මත ආයතනයේ සේවකයන්ට ආයතනයේ නමට ලියාපදිංචි යතුරු පැදි ලබා දී ඇති බවත් වසර 5කට පසුව ඒවායේ අයිතිය සේවකයන්ට පැවරීමේදී එය නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් මෙම පරස්පරතා ඇතිවූ බවත් නිලධාරීන් ඊට ලබා දී ඇති පිළිතුරයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමසා බලා පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසට කාරක සභාව දැව ස්ංස්ථා බලධාරීන් දැනුවත් කර තිබෙනවා.

සංස්ථාවේ භාවිතයට ගත හැකි මට්ටමේ දම්වැල් කියත් තිබියදී ගස් බිම හෙලීම සඳහා නිරතුරුව කොන්ත්‍රාත් ලබාදීම පිළිබඳව කාරක සභාව ප්‍රශ්නකර තිබෙනවා.

දම්වැල් කියත් භාවිතය තහනම් කිරීම නිසා විශේෂ අවසරය මත 2023 වසරේ දම්වැල් කියත් සියයක් ගෙන්වා ඇති බවත් නිලධාරිහු සඳහන් කළා.

බාහිර පුද්ගලයන් භාවිත කිරීමේදී අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය විසින් රාජසන්තක කරන ලද දම්වැල් කියත් ද යොදා ගනිමින් කාර්යක්ෂම වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කර තිබෙනවා.

Share This