රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදාවේදී ජනපති ජාතිවාදය ගැන දුන් පනිවිඩය (VIDEO)

රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදාවේදී ජනපති ජාතිවාදය ගැන දුන් පනිවිඩය (VIDEO)

බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (30) පස්වරුවේ ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

භෞතික වශයෙන් අත්කරගත යුතු ජයග්‍රහණ මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද ළඟා කර ගත යුතු ජයග්‍රහණ රැසක් තිබෙන බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයා සදහන් කළේ දිගු කලක් මෛත්‍රිය, කරුණාව, අවිහිංසාව පදනම් කර ගෙන ධර්මය දේශනා කළ, එම ධර්මයට සවන් දුන් රටකට අද අත් වී ඇති ඉරණම සියලුදෙනා අවබෝධ කර ගත යුතු බවයි.

එසේම, ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය යළි අත්පත් කර ගැනීමේ මෙවලමක් ලෙස ජාතිවාදය උපයෝගි කර ගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා , එහි ගොදුරු බවට පත් වුයේ එම දේශපාලකයින් නොව උතුරේත්, දකුණේත් අහිංසක දෙමව්පියන්ගේ දරුවන් බව ප්‍රකාශ කළා.

අනුර කුමාර දිසානායක මහතා අවධරණය කළේ සියලුදෙනාට ප්‍රජාතන්ත්‍රවාදීව සහ නිදහසේ කටයුතු කිරීමට හැකියාව තිබුණද, යළි කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බවයි.

ඒ සඳහා පවත්නා නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නීති ශක්තිමත් කර හෝ ජාතිවාදය පරාජය කරන බවත්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා එකට ජිවත් වන සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම ස්වාමින් වහන්සේලාගේ විනය පිළිබඳ කතිකාවතක් ඇති කිරිමේ සාකච්ඡාව පිළිබඳවද අදහස් දැක් වූ ජනාධිපතිවරයා, ඒ පිළිබඳ මහනායක ස්වාමින්වහන්සේලා පොදු සම්මුතියකට එළැඹෙන්නේ නම් එම කතිකාවත ඉදිරියට ගෙන යාමට රජයට හැකි බවද සඳහන් කළා.

එතෙක් විහාර දේවාලගම් පනතේ 42 සහ 43 වගන්ති සංශෝධනය කිරීමට කළ ඉල්ලීම බුද්ධශාසන අමාත්‍යවරයා වෙත භාර දී තිබෙන බවත්, දැනටමත් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාර දී තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙවර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහා විනය කර්මය උතුරු මැද පළාතේ ප්‍රාදේශීය සංඝ සභාවල සහ උපසම්පදා මහෝත්සව කමිටුවේ සංවිධානයෙන් කලාවැව, කලාකරඹෑව, ශ්‍රී විද්‍යාධාර මහා පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් අද (30) සිට ජූලි 08 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ලක්දිවෙහි පිහිටුවීමෙන් පසුව 1864 ජූලි මස ගාල්ලේ වැලිවත්ත විජයානන්ද පිරිවෙන කේන්ද්‍ර කර ගෙන මහමෝදර උදකුක්ඛේප සීමාවේදී ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කර තිබෙනවා.

මෙවරද චිරාගත සම්ප්‍රදායානුකූලව කලාවැව ගෝණනදී (කලා ඔය) උදකුක්ඛේප සීමා මාලකයේදී සාමණේරයන් වහන්සේලා 400ක් පමණ අධීසීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ “සසුන” උපසම්පදා කලාපය, “පටිපදා” ශාස්ත්‍රීය සංග්‍රහය සහ “උරුමයක අභිමානය” නම් ග්‍රන්ථයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

 

 

Share This