රියදුරකුට පිස්තෝලයක් පෙන්වූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

රියදුරකුට පිස්තෝලයක් පෙන්වූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

තමන් ගමන් ගත් ප්‍රාඩෝ වර්ගයේ සුපිරි රථයට ඉස්සර කිරීමට ඉඩ නොදීම හේතුවෙන් මෝටර් රථ රියදුරෙකුට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ තලවතුගොඩ හංදිය ආසන්නයේදී මෙලෙස පිස්තෝලය පෙන්වා තර්ජනය කළ බවට මෝටර් රථ රියදුරා කළ පැමිණිල්ලකට අනුවයි.

නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ඊයේ සවස 5ට පමණ ඔහුට අයත් මෝටර් රථයකින් හෝකන්දර දෙස සිට තලවතුගොඩ බලා ගමන් කරමින් සිට තිබෙනවා.

ඔහුට පසුපසින් ප්‍රාඩෝ වර්ගයේ සුපිරි රථයක් පැමිණ ඇති අතර එහි රියදුරා අවස්ථා කිහිපයකදීම මෝටර් රථය පසුකර යාමට උත්සහ කර තිබුණා.

කෙසේ වෙතත් ප්‍රාඩෝ රථයේ රියදුරා දැඩි පරිශ්‍රමයක් දරා නුගේගොඩ ප්‍රදේශයේදී මෝටර් රථය පසුකර යාමට සමත් වී ඇති අතර එලෙස මෝටර් රථය පසුකරනවාත් සමඟම ප්‍රාඩෝ රථය පැදවූ පුද්ගලයා පිස්තෝලයක් පෙන්වා මෝටර් රථ රියදුරාට තර්ජනය කර ඇති බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳව මෝටර් රථ රියදුරා මාර්ගයේ සිටි රථ වාහන අංශයේ පොලිස් නිළධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අදාළ පිස්තෝලය පෙන්වූ බව කියන ප්‍රාඩෝ රථයේ සිටි ව්‍යාපාරිකයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව ලබා දුන් පණිවුඩ ඔස්සේ ප්‍රාඩෝ රථය පරීක්ෂා කර එහි රියදුරා සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් පොලිස් භාරයට ගෙන තිබුණා.

තලංගම පොලිසියේ නිලධාරීන් සඳහන් කළේ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලය බලපත්‍ර සහිත නීත්‍යානුකූල එකක් බවයි.

කෙසේ වෙතත් එය භාවිත කරමින් මහා මාර්ගයේ පුද්ගලයන්ට තර්ජනය කිරීම මුල් කර ගනිමින් අදාළ පැමිණිලි විභාගය සිදු කරන බවත් ඔහු සඳහන් කළා.

 

Share This