
රෝගී වූ ධීවරයින් සිංගප්පූරු නෞකාවකින් බේරා ගනී -ඔවුන් ගොඩබිමට රැගෙන ඒම අරඹයි
“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ධීවරයින් දෙදෙනෙකු සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ වෙළඳ නෞකාවක් මඟින් අද (30) උදෑසන මුදාගෙන ඇති බව නාවික හමුදාව පවසනවා.
‘MV KOTA CAMIL’ නමැති සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ වෙළඳ නෞකාව මඟින් එම මුදාගැනීමේ කටයුතු සිදුකර ඇති අතර අදාළ කටයුතු සඳහා වෛද්‍ය කණ්ඩායමක් සමඟ ඊයේ පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මේ වන විට එම මුහුදු ප්‍රදේශය වෙත ළඟා වෙමින් සිටින බවයි නාවික හමුදාව පැවසුවේ.
තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති ධීවරයින් හය දෙනෙකු (06) රැගත් “Devon 5” (ලියාපදිංචි අංක IMUL-A- 0909 TLE) නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් ආ බෝතලයක තිබූ දියරයක් පානය කර එය විෂ වී අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටියා.
ඉන් ධීවරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 365 ක් පමණ (කිලෝ මීටර් 675ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ආපදාවට පත්ව ඇති එම ධීවරයින් පිරිස වෙත කඩිනමින් වෛද්‍ය ආධාර ලබාදී ගොඩබිමට රැගෙන ඒමට සහය වන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ඊයේ දහවල් දැනුම්දීමක් සිදු කර තිබූ බව සඳහන්.
ඒ අනුව එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව ආපදාවට පත් බහුදින ධීවර යාත්‍රාව මුදවා ගැනීම සඳහා සහය වන ලෙස එම මුහුදු ප්‍රදේශය ඔස්සේ සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ‘MV KOTA CAMIL’ නමැති වෙළඳ නෞකාව වෙත උපදෙස් ලබා දීමට කටයුතු කර ඇති අතර එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකළ “Devon 3” නමැති බහුදින ධීවර යාත්‍රාව වෙත ද සිද්ධිය දැනුවත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.
එමෙන්ම නාවික හමුදා වෛද්‍යවරයෙක් මඟින් සන්නිවේදන තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින්ත අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයින් වෙත වෛද්‍ය උපදෙස් ලබාදීමද සිදු කෙරුණු අතර අද උදෑසන කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් (02) ‘MV KOTA CAMIL’ නමැති සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ වෙළඳ නෞකාවක් මඟින් මුදවා ගැනීමට කටයුතු කර තිබෙනවා.
“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා වෛද්‍ය කණ්ඩායමක් සමඟ 2024 ජුනි මස 29 වන දින සන්ද්‍යාවේ පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මේ වන විට එම මුහුදු ප්‍රදේශය වෙත ළඟා වෙමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළා.
ඊයේ රාත්‍රිය වන විට “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා (06) අතරින් ධීවරයින් සිව් දෙනෙකු (04) ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් ධීවරයින් දෙදෙනා වෛද්‍ය ආධාර ලබාදෙමින් මේ වන විට ගොඩබිම දෙසට රැගෙන එමින් සිටිනවා.
විජයබාහු නෞකාව මඟින් එම ධීවරයින් දෙදෙනා (02) භාර ගැනීමට නියමිත බවයි නාවික හමුදාව පැවසුවේ.