
ලුණු සඳහා උපරිම සිල්ලර මිලක්
අසීමිත ලාභ ලැබීමට උත්සාහ කළහොත් ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට සිදුවන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඔහු පවසන්නේ ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු කිලෝවකට වැය වන්නේ රුපියල් 77කට අඩු මුදලක් වුවත් ඇතැම් වෙළඳුන් රුපියල් 250 ඉක්මවා ලුණු අලෙවිකරන බවයි.
අධික වැසි සමඟ ලේවායන්වල තිබූ ලුණු සේදී යාම සහ ලුණු නිෂ්පාදනයට බාධා එල්ලවීම හේතුවෙන් වෙළඳපොළේ ලුණු හිඟයක් නිර්මාණය වුණා.
මේ හේතුවෙන් පසුගිය සමයේ වෙළඳපොළේ ලුණු මිලද ඉහළ ගියා.
එවන් පසුබිමක ආණ්ඩුව නැවත වතාවක් ලුණු ආනයනයට අවසර දුන් අතර, එම ලුණු ඉදිරි දින කිහිපයේ දිවයිනට ළඟාවීමට නියමිතයි.
ලුණු ආශ්‍රිතව ගොඩනැගී ඇති අර්බුදකාරී තත්ත්වය මේවන විට රටේ ප්‍රභල සමාජ කථිකාවතක්ද ගොඩනගා තිබෙනවා.
එවන් පසුබිමකදී මේ සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයීය උපදේශ කාරකසභාවේදී ද අවධානය යොමු වුණා.