
ලෙලි කජු ආනයන බලපත් යොදාගනිමින් වංචා සහගත ලෙස කජු මඳ ආනයනය කළ සමාගමකට වැඩ වැරදියි
ලෙලි කජු ආනයන බලපත් යොදාගනිමින් වංචා සහගත ලෙස කජු මඳ ආනයනය කරන ලද සමාගමක් අසාදු ලේඛන ගත කිරීමට තීරණය කර තිබෙනවා.
රට තුළ පාරිභෝජනය සඳහා අවශ්‍ය තරම් කජු මඳ නොමැතිවීම නිසා ලෙලි කජු ආනයනය සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ නිර්දේශය මත ආයතන කිහිපයකට ලෙලි කජු ආනයන බලපත් ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වීසින් පියවර ගෙන තිබෙන බව සඳහන්.
2023 වසරේ දෙසැම්බර් මාසයේ සිට 2024 වසරේ අප්‍රේල් මාසය දක්වා කාලය තුළට මෙම බලපත් අදාළ වන අතර එමඟින් දේශීය කජු මඳ නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා කජු මඳ ආනයනය කිරීමට අවසර ලබා නොදීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ලෙලි කජු ආනයනය සඳහා බලපත් ලබා ගත් එක් සමාගමක් ලෙලි කජු වෙනුවට කජු මඳ ආනයනය කර ඇතැයි මේ වනවිට පාර්ශ්ව කිහිපයක් විසින් චෝදනා එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම චෝදනාව සම්බන්ධව කරුණු සනාථ කර ගැනීම සඳහා වහාම විමර්ශනයක් පවත්වන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා කජු සංස්ථාවට උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව මෙම චෝදනා එල්ල වී ඇති සංස්ථාව සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති නීතිඥ උදාර විජේසිංහ මහතා ප්‍රකාශ කළ බව සඳහන්.
එහිදී ලෙලි කජු ආනයනය සඳහා පමණක් බලපත් ලබා ගත් කිසියම් ආයතනයක් හෝ පුද්ගලයෙක් වංචා සහගත ලෙස කජු මඳ ආනයනය කර ඇත්නම් එම ආයතනය හෝ පුද්ගලයා අසාදු ලේඛන ගත කිරීමටත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, නැවත කිසිදිනෙක ඔවුන්ට ලෙලි කජු ආනයනය සඳහා බලපත් ලබා නොදෙන බවත් සභාපතිවරයා අවධාරණය කර තිබෙනවා.