
ලෝක ළමා දිනයට ජනපති සහ අගමැතිනියගෙන් සුබපැතුම්
අදට යෙදෙන ලෝක ළමා සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
එමගින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබ සිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් සිය රජය කැපවී සිටින බවයි.
ලෝක ළමා දිනයක් සැමරීම සඳහා විශේෂ දිනයක් යොදාගත යුතු බව ප්‍රකාශයට පත් කෙරුණේ 1925 වසරේදී පැවති දරුවන්ගේ සුබසාධනය පිළිබඳ ලෝක සමුළුවේදීයි.
එමෙන්ම 1990 වර්ෂයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදීි ලෝක වැඩිහිටි දිනයක් සැමරිය යුතු බවට තීරණය කරනු ලැබුවා.
ඒ අනුව 1955 වසරේ ඔක්තෝබර් පළමු වැනිදා ලොව පුරා රටවල් ලෝක ළමා දිනය ප්‍රථම වරට, එක්ව සමරනු ලැබූ අතර ලෝක වැඩිහිටි දිනය මුල්වරට සමරනු ලැබුවේ 1991 වර්ෂයේදීයි.
එතැන් සිට සෑම වර්ෂයකම ඔක්තෝබර් 01 වැනිදා ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සැමරෙන අතර, මෙවර ශ්‍රී ලංකාවේ ළමා දින තේමාව වී ඇත්තේ ‘ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට’ යන්නයි.
පරපුරක් තැනූ පරපුරක් රැකගමු යන්න මෙවර වැඩිහිටි දිනයේ තේමාව වී තිබෙනවා.
ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද අයිතිවාසිකම් සහ සුබ සිද්ධිය වෙනුවෙන් රජය පූර්ණ වශයෙන් කැපවී සිටින බව හා දෙපාර්ශ්වයේම යහපැවැත්ම උදෙසා අඛණ්ඩව ක්‍රියා කරමින් සිටින බවයි.
රටක මෙන්ම ලොකයේ අනාගතය දරා සිටින ළමා පරපුරට ළමා ලෝකයේ සුන්දරත්වය භුක්ති විදීමට බාධාවකින් තොර වූ අවස්ථාවක් හිමි කර දීම ප්‍රජාව සතු වගකීමක් බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
එහිදී සියලු ළමුන්ගේ කායික සහ මානසික යහපැවැත්ම සහ සංවර්ධනය උදෙසා අධ්‍යාපනය සදහා සමාන ප්‍රවේශය, මාර්ගෝපදේශනය, සමාජමය සුරක්ෂාව, දරුවන්ට එරෙහි අපයෝජන, වෙනස් කර සැලකීම් සහ සියලු ආකාරයේ හිංසනවලින් දරුවන් ආරක්ෂා කිරීම මෙන්ම නිසි පෝෂණය සැපයීම හා සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරිමට රජය බැදී සිටින බවටද ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙනවා.
මෙම විශේෂ දිනයේදි දරුවන්ට ආදරය, සහයෝගය සහ ආරක්ෂාව ලබා දීමට යළි ප්‍රතිඥා දෙන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ මෙරට ප්‍රගමණය සඳහා වැඩිහිටියන් ලබා දුන් දායකත්වය වෙනුවෙන් ඔවුන්ට ගෞරවය හා කෘතවේදිත්වය පළ කරන බවයි.
…………….
මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියද ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙරට ජනගහනයෙන් 31% කට ආසන්න වූ දරුවන් සඳහා පරිපූර්ණ ළමා ලෝකයක් ගොඩනැගීමේ සුවිශේෂි වගකීමක් රජය වෙත පැවරී ඇති බවයි.
නිදහස් හා සාමකාමි පරිසරයක ජීවත් වන සහකම්පනයෙන් පිරි දරුවෙකු බිහි කිරීම වත්මන් රජයේ බලාපොරොත්තුව වන අතර, ළමා ශ්‍රමය සූරාකෑම, ළමා හිංසනය, අහිතකර පීඩනය, ආතතිය නැති කිරීම වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද ඇය අවධාරණය කර තිබෙනවා.
සියලු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආරක්ෂාව, මානසික යහපැවැත්ම හා සෞඛ්‍ය පිළිබඳ වගවෙමින් ඔවුනට ගෞරවනීය සමාජ ජීවිතයක් ගත කිරීම උදෙසා අවශ්‍ය වටපිටාව රජය ගොඩනගමින් සිටින බවද අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.