වනාන්තර 16ක් අද සිට රක්ෂිත වෙයි

වනාන්තර 16ක් අද සිට රක්ෂිත වෙයි

“වනස්පති” වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස අද සිට ගැසට් කළා.

ඒ අනුව මොණරාගල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් රජයේ වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් වනු ඇති.

මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල අඩවියේ ආගරේ, බන්ඩාරවාඩිය, කුඩාගොඩකන්ද, මිල්ලකැලේ, වන්තිබ්බාගොඩ, වෙහෙරගලකන්ද රජයේ වනාන්තරත් – සියඹලාණ්ඩුව අඩවියේ අඹත්තාහෙල රජයේ වනාන්තරයත්, වැල්ලවාය අඩවියේ කන්දෙයාය, පොරමැඩිල්ල, වැලිආර රජයේ වනාන්තරත් අද සිට නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා.

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව අඩවියේ පාලකුඩා කඩොලාන වනාන්තරය, අම්පාර අඩවියේ කරංගාව රජයේ වනාන්තරය, මහඔය අඩවියේ බදුලුගොඩ රජයේ වනාන්තරය සහ ලාහුගල අඩවියේ පානම උතුර රජයේ වනාන්තර ද අද (15) දින සිට රක්ෂිත ලෙස ගැසට් කළ අතර මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර අඩවියේ රිලාගල සහ රජගල රජයේ වනාන්තර ද රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව මෙම සියලු රජයේ වනාන්තරවල හෙක්ටයාර 5711.75 ක වපසරියක භූමි ප්‍රමාණයක් රක්ෂිත බවට අද දින සිට සැලකෙනවා.

පරිසර අමාත්‍යංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් අද (15) පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන්, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ , සහ විශේෂ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් ගම්පහ, බජ්ජංගොඩ රක්ෂිත වනාන්තරයේ එළිමහන් රංග පීඨයේ දී “වනස්පති” ජාතික වැඩසටහන පැවැත් වුණා.

“වනස්පති” – ශ්‍රී ලංකාවේ වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ පරිසර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේයි.

නව රජයේ පරිසර ප්‍රතිපත්තියේ කරුණු ඉටු කරමින් ද පරිසර අමාත්‍යංශයේ අරමුණු සහ පැරිස් සම්මුතියට දක්වන එකඟතාවක් ලෙස ද ජල මූලාශ්‍ර, සතුන් සහ ශාක ආරක්ෂා කරන වනාන්තර, රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන වනස්පති නමින් අද ආරම්භ කෙරූ වැඩසටහනේ අරමුණයි.

පැරිස් සම්මුතියට ශ්‍රී ලංකාව දක්වන එකඟතාවක් ලෙස 2030 වසර වන විට ලංකාවේ වන ආවරණය 32 % දක්වා වර්ධනය කිරීමේ අවශ්‍යතාව පවතිනවා.

 

Share This