වන අලි ගැටලුව විසඳීමට දිස්ත්‍රික් මට්ටමින් වගකිව යුතු නිලධාරින්ගෙන් සමන්විත කමිටු පත් කෙරේ

වන අලි ගැටලුව විසඳීමට දිස්ත්‍රික් මට්ටමින් වගකිව යුතු නිලධාරින්ගෙන් සමන්විත කමිටු පත් කෙරේ

ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන වන අලි ගැටලුව විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ වන අලි ගැටලුව විසඳීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී අද (20) පස්වරුවේ පැවති සාකච්ඡාවේදීයි.
මෙහිදී වන අලි ගැටලුව බහුලව පවතින අනුරාධපුර, පුත්තලම, පොළොන්නරුව, අම්පාර, හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණු අතර මෙයට අදාළවල ඒ, ඒ දිස්ත්‍රික්කවල පවතින ගැටලු දිසාපතිවරු විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු, රථ වාහන අවශ්‍යතා සහ රාජකාරී කර ගෙන යාමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබුණා.
වන අලි ගැටලුව විසඳීමේ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ජනතාව සමඟ සමීපව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ වැදගත්කමද පෙන්වා දී තිබෙනවා.
 ඒ අනුව මෙම කටයුතු සිදු කිරීම සඳහා අදාළ දිස්ත්‍රික්කවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු ඉදිරි මාසය තුළ පත් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.
ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ දැනට වනජීවී දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා ලෙසයි.
ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ලෙස සිවිල් ආරක්ෂක  නිලධාරීන් නිශ්චිත පුහුණුවක් සමඟ වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමටත්  ඊට අදාළ නීති සම්පාදනය කිරීමටත් නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නා.
Share This