වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය eRL 2.0 ඔක්තෝබර් 03 වනදා සිට ක්‍රියාත්මකයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය eRL 2.0 ඔක්තෝබර් 03 වනදා සිට ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය දිවයිනේ පළාත් 8ක ලබන ඔක්තෝබර් මස 03 වන දින සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව වයඹ, දකුණ, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, උතුර සහ ඌව යන පළාත්වල පළමුව මෙම නව පද්ධතිය ක්‍රියාත්මක කරන බවයි සඳහන් වන්නේ.

බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය eRL 1.0 ඉදිරියටත් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව, දිවයින පුරා සියලුම පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2023 සැප්තැම්බර් මස 27 සහ ඔක්තෝබර් මස 02 යන දිනවල තාවකාලිකව නතර කිරීමට සිදුවන බවයි සඳහන් වන්නේ.

මාර්ගගත ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ පහසුකමද 2023 ඔක්තෝබර් මස 06 වන දින මධ්‍යම රාත්‍රි 12 දක්වා තාවකාලිකව නතර කරන බවද දැනුම් දෙනවා.

පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවල ද සහයෝගය ඇතිව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය නව්‍යකරණය කිරීමේ කටයුතු සිදුකර තිබෙනවා.
.
eRL 2.0 නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් සංවර්ධනයක් ඇති කිරීමේ ක්‍රියාවලියේ ඉතා වැදගත් පියවරක් වනු ඇතැයි අපේක්ෂා කරනවා.

Share This