
වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට වැඩ තහනම් වු පොලිස් කොස්තාපල් කමිටුව හමුවේ හඩයි
මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු මියයාම යම් වරදක් මත සිදුවූවක් බව පොලිස් විශේෂ කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා පවසනවා.
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ බව සඳහන් කළා.
පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැති මෙම කමිටු රැස්වීමේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු ස්ථානාධිපති ඇනස්ලම් ද සිල්වා මහතා සඳහන් කළේ හිටපු අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත අදාළ හෝටලයට වෙඩි තැබූ බවයි.
අධිකරණය මගින් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව එහි සභාපති ශ්‍රේෂ්ඨාධීකරන විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරු 9.00 ට පාර්ලිමේන්තුවේදී රැස්වුණා.
වෙඩි තැබීම සඳහා කුමන ගිනි අවියක් භාවිත කළාද .?
ස්වාමිනී ටී 56 වර්ගයේ ගිනි අවියක්.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් මහතා සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම මහතා සාක්ෂි විමසීම සිදුකළා.
මම ඔබෙන් අහනවා කාගේ උපදෙස් මතද වැලිගම ප්‍රදේශයට ගියේ කියලා.
ස්වාමිනී එවකට අධ්‍යක්ෂ ධුරය දැරූ නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත අපි එහි ගියා.
මම නැවත අහනවා එම වෙඩි තැබීම කළේ කාගේ උපදෙස් මත ද කියලා.
ස්වාමිනී නෙවිල්ද සිල්වා මහතා තමයි මට අදාළ හෝටලයට වෙඩි තියන්න කියලා උපදෙස් දුන්නේ.
ඒ අනුව අදාළ වෙඩි තැබීමේ ක්‍රිියාවලිය මධුරංග මහතා භාරගත්තා.
අනතුරුව අදාළ වෑන් රථයට වෙඩි තැබූ පොලිස් නිලධාරීන් කණ්ඩායම සහිත ජීප් රථයෙන් පැමිණි කණ්ඩායම් භාර නිලධාරියා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.
ඔබ ඇතුළු කණ්ඩායම එම හෝටලය අසළට ආවේ ඇයි..?
ස්වාමිනී, අපි එදින මුර සංචාරයේ නිරතව සිටියා. අලුයම් කාලයේ වැලිගම ප්‍රදේශයට යද්දි අපි අහම්බෙන් වගේ දැක්කා හෝටලය දෙසට වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබනවා. – – සැරයන් අජිත් සිසිර කුමාර
එතකොට ඔබ මොකද කළේ..?
ස්වාමිනී, මම අණ දුන්නා වෑන් රථය දෙසට වෙඩි තියන්න කියලා. – සැරයන් අජිත් සිසිර කුමාර
ඇයි එහෙම කළේ?
සැරයන් අජිත් සිසිර කුමාර – මම හිතුවා ස්වාමිනී ඒ පාතාල කණ්ඩායමක් කියලා. මොකද ඒ දවස්වල පාතාල ක්‍රියාකාරකම් ටිකක් වැඩි වෙලා තිබුණේ. අපි යුක්තිය මෙහෙයුමට අදාළව රාජකාරී කළේ ඒ නිසයි.
එතකොට ඔබ ඇතුළු කණ්ඩායම ගිය රථයේ යුද හමුදා සෙබළුන් හිටිය ද..?
සැරයන් අජිත් සිසිර කුමාර – හිටියා ස්වාමිනී, යුක්තිය මෙහෙයුමට අදාළව පොලිසිවලට යුද හමුදා සෙබළුන් අනුයුක්ත කර තිබුණා.
කමිටුව හමුවේ දැනට වැඩ තහනමට ලක්ව සිටින කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු ස්ථානාධීපති, ඇනස්ලම් ද සිල්වා මහතා ප්‍රථමයෙන් සාක්ෂි ලබාදුන්නා.
එහිදී ඔහු කියා සිටියේ එවකට කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ නෙවිල් ද සිල්වා මහතා ලබාදුන් උපදෙස් මත 2023 වසරේ දෙසැම්බර් මස 30 වැනිදා අලුයම් කාලයේ වැලිගම ප්‍රදේශයේ හෝටලයේ තාප්පයට සහ නාමපුවරුවට වෙඩි තැබූ බවයි.
වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජීව වීරවික්‍රම – මම මේ කමිටුවේදී යෝජනා කරනවා ඔබේ අවිධිමත් නියෝගය නිසා තමයි ජීවිතයක් නැති වුණේ කියලා. ඔබ ඒක පිළිගන්නවා ද..?
සැරයන් අජිත් සිසිර කුමාර – නැහැ ස්වාමිනී, මම එය පිළිගන්නේ නැහැ.
අනතුරුව වැලිගම ප්‍රදේශයට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ගමන් ගත් වැන් රථයේ රියදුරු වන දැනට වැඩ තහනමට ලක්ව ඇති පොලිස් කොස්තාපල් දුලිප් පියතිස්ස මහතා කමිටුව හමුවේ සාක්ෂි ලබාදුන්නා.
දුලිප් පියතිස්ස – කොළඹ අපරාධ කොට්ඨාසයේ රියදුරු – කොස්තාපල් (වැඩ තහනම්) – ස්වාමිනී, අපි රාත්‍රි 08.30ට විතර මාතර යන්න පිටත් වුණා. ඒ යන ගමනේදී OIC මහත්තයලාගේ ගෙදරට ගියා.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ – එහිදි මොනවද කළේ..?
දුලිප් පියතිස්ස – කොළඹ අපරාධ කොට්ඨාසයේ රියදුරු – කොස්තාපල් (වැඩ තහනම්) – ස්වාමිනී, වාහනයේ අංක තහඩු වෙනස් කළා.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ – කවුද එහෙම කරන්න කිව්වේ..?
දුලිප් පියතිස්ස – කොළඹ අපරාධ කොට්ඨාසයේ රියදුරු – කොස්තාපල් (වැඩ තහනම්) – නිශාන්ත මහත්තයා තමයි එහෙම කරන්න කිව්වේ. මම ඇහුවා ඇයි එහෙම කරන්නේ කියලා. මට කිවුවා උඹට ඒක වැඩක් නැහැනේ කියලා.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ – අදාළ ගමන ගැන ඔබට මතක ද..?
දුලිප් පියතිස්ස – කොළඹ අපරාධ කොට්ඨාසයේ රියදුරු – කොස්තාපල් (වැඩ තහනම්) – ස්වාමීනි, මට කිව්වේ මාතර යන්න ලෑස්ති වෙන්න කියලා. ඒත් අධිවේගී මාර්ගයෙන් පිටතට ගියාට පස්සේ දැනගත්තා හෝටලයකට වෙඩි තියන්න යන්නේ කියලා.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ – ඊට පස්සේ මොකද වුණේ..?
දුලිප් පියතිස්ස – කොළඹ අපරාධ කොට්ඨාසයේ රියදුරු – කොස්තාපල් (වැඩ තහනම්) – අපි අදාළ හෝටලය ගාවට අවස්ථා දෙකකදි විතර ගියා. ඊට පස්සේ අලුයම 2.30ට විතර ගිහිල්ලා වෑන් එක හෝටලය ගාව නතර කළාට පස්සේ වම් පැත්තේ පිටුපස දොර ඇරලා මධුරංග මහත්තයා හෝටලයට වෙඩි තිවුවා.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ – ඊට පස්සේ ඔබ මොකද කළේ..?
තම ඒකකයේ මධුරංග නැමැති නිලධාරියෙකු වෑන් රථයේ සිට එම වෙඩි තැබීම සිදුකළ බවත්, ඒ සමඟ තම වෑන් රථයටද වෙඩි ප්‍රහාර එල්ල වූ බවත් ඔහු කියා සිටියා.
දුලිප් පියතිස්ස – කොළඹ අපරාධ කොට්ඨාසයේ රියදුරු – කොස්තාපල් (වැඩ තහනම්) – මට පිටිපස්සෙන් ඇහුනා. පොලිසියෙන්.. පොලිසියෙන් ඉක්මණට යමු කියලා. ඒ අනුව මම වාහනය ඉස්සරහට ගත්තා. එතකොට මම දැක්කා පොලිසියේ වගේ ජීප් එකක් ඉස්සරහින් නතර කරලා තියෙනවා.
ඒ අනුව වෑන් රථ රියදුරුගෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තවදුරටත් ප්‍රශ්න කර සිටි අතර, අනතුරුව සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසන ලද්දේ වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම මහතායි.
සංජීව – බොරු කිම වරදක් බව ඔබ දන්නවාද..?
දුලිප් පියතිස්ස – කොළඹ අපරාධ කොට්ඨාසයේ රියදුරු – කොස්තාපල් (වැඩ තහනම්) – ඔව් ස්වාමිනී,
සංජීව – මම කියනවා ඔබ මීට පෙර දීපු සාක්ෂි සහ අද දීපු සාක්ෂි පරස්පරයි කියලා.
දුලිප් පියතිස්ස – කොළඹ අපරාධ කොට්ඨාසයේ රියදුරු – කොස්තාපල් (වැඩ තහනම්) – ඔව් ස්වාමිනී, මට සමාවෙන්න. මම මීට පෙර අවස්ථා කිහිපයකදී වෙනත් සාක්ෂියක් ලබාදුන්නා. ඒත් අද දෙන්නේ ඇත්ත සාක්ෂිය තමයි.
ඉන් අනතුරුව ද වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම මහතා අදාළ රියදුරුගෙන් තවදුරටත් ප්‍රශ්න කර සිටියා. එහිදී එක් අවස්ථාවක සාක්ෂිකරු කමිටුව හමුවේ කඳුළු පිරි දෑසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකළේ සියලු දෙනාගේ සිත් කම්පාවන අයුරින්.
දුලිප් පියතිස්ස – කොළඹ අපරාධ කොට්ඨාසයේ රියදුරු – කොස්තාපල් (වැඩ තහනම්) – ස්වාමිනී, මට ජීවිතය එපා වෙලා තියෙන්නේ. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දරුවෝ තුන් දෙනාටයි මටයි, බිරිඳටයි ජීවත්වෙන්න විදියක් නැහැ. දැන් මට මගේ රස්සාවත් නැහැ. ගොවිතැන් කරගෙන ඉඳපු මම විවාහ වුණාට පස්සේ තමයි පොලිසියට බැඳුනේ. දන්වනම් මම පොලිසිය පැත්ත පළාතේ එන්නේ නැහැ. ස්වාමිනී, මට ආයේ මගේ රස්සාව ඕනේ නැහැ. පුළුවන් නම් මේ කරදරෙන් මම නිදහස් කරන්න.
අනතුරුව සාක්ෂි සඳහා කැඳවනු ලැබුවේ වැලිගම වෙඩි තැබීම සිදුවන කාලවකවානුවේ පොලිස් විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ දැනට ගාල්ල සහ මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතායි.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ – 2023 දෙසැම්බර් 29 සහ 30 යන දෙදින වැලිගම ප්‍රදේශයේ මෙහෙයුම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායම් දෙකක් ගොස් ඇති බව ඔබ දැන සිටියා ද.?
නිශාන්ත ද සොයිසා – නියෝජ්‍ය පොලිස්පති – 29 වැනිදා ගිය බව දන්නවා ස්වාමිනී, 30 වැනිදා එවැනි වැටලීමකට ගිහිල්ලා කියලා දැනගත්තේ 31 වැනිදා අලුයම් කාලයේ.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ – එතකොට වැලිගම වෙඩි තැබීම දැන ගත්තේ කොහොම ද..?
නිශාන්ත ද සොයිසා – නියෝජ්‍ය පොලිස්පති – ස්වාමිනී, 31 වැනිදා අලුයම 2.30ට විතර මට දුරකථන ඇමතුම් කිහිපයක් ආවා. මම තද නින්දේ තමයි පසු වුනේ. ඒත් මම දෙතුන් වතාවක් දුරකථනය නාද වෙද්දි ඒ ඇමතුවට සම්බන්ධ වුණා.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ – කවුද ඒ ඇමතුම දුන්නේ.. මොනවද කිවුවේ..?
නිශාන්ත ද සොයිසා – නියෝජ්‍ය පොලිස්පති – ස්වාමිනී, නෙවිල් තමයි මට කතා කළේ. නෙවිල් කිව්වා පොලිස්පතිතුමා සම්බන්ධ කර ගන්න බැහැ මට පණිවුඩයක් දෙන්න ඕන කියලා. එවලෙම කිවුවා CCD ටීම් එකකට වැලිගමදි වෙඩි තියලා කියලා.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ – ඊට පස්සේ මොකද කළේ ?
නිශාන්ත ද සොයිසා – නියෝජ්‍ය පොලිස්පති – මම එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇමතුමක් ගත්තා. එතුමත් තද නින්දේ තමයි හිටියේ. දුරකථනයට සම්බන්ධ වූ පොලිස්පතිතුමාට මම කිව්වා CCD ටීම් එකට වෙඩි තියලා කියලා. එතකොට පොලිස්පතිතුමා ඇහුවා CCD එකේ අය පිස්සුවක් කෙළලද කියලා. බීලද ඉඳලා තියෙන්නේ කියලත් ඇහුවා.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ – එම සිද්ධිය ගැන ඔබට මොකද හිතෙන්නේ..?
නිශාන්ත ද සොයිසා – නියෝජ්‍ය පොලිස්පති – ස්වාමිනී, මම හිතනවා ඒ සිදුවීම විය යුතු දෙයක් නොවෙයි කියලා.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ – ඇයි ඔබ එහෙම කියන්නේ..?
නිශාන්ත ද සොයිසා – නියෝජ්‍ය පොලිස්පති – ස්වාමිනී, මමත් අවුරුදු ගාණක් පොලිස් සේවයේ තමයි ඉන්නේ. මෙහෙයුමක් කරනවා නම් කරන විදිහක් තියෙනවා. හැබැයි මෙතන එහෙම දේවල් වෙලා නැහැ. කාගේ හරි වරදක් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.
විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන – කමිටු සභාපති – ඔබ හිතන්නේ ඒ වරද කවුරු කළා කියල ද..?
නිශාන්ත ද සොයිසා – නියෝජ්‍ය පොලිස්පති – කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ නෙවිල් ද සිල්වා, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස එවකට කටයුතු කළ ජගත් චන්ද්‍රකුමාර මහතා වගේම එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් වග කියන්න ඕන කියලා මම කියනවා ස්වාමිනී,
අනතුරුව සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න යොමු කිරීමට අවස්ථාව උදා වූ අතර එහිදී කමිටුවේ එකඟතාවය මත වගඋත්තරකාර දේශබන්දු තෙන්නකොන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම මහතා කියා සිටියේ යළි කමිටුව රැස්වන 16 වැනිදා පෙරවරුවේ සාක්ෂි විමසන බවයි.
ඒ අනුව ඊයේ රැස්වූ කමිටුවේ කටයුතු රාත්‍රි 08ට පමණ අවසන් වූ අතර එකඟ වූ පරිද්දෙන් ලබන 16 වැනිදා සිට අඛණ්ඩව කමිටුව රැස්වන බව කමිටු සභාපති විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා සඳහන් කළා.