
වැලිගම W15 හෝටලයට වෙඩි තැබීම පෙනී ගිහින් තියනවා අනීතික ක්‍රියාවක් කියලා – නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු කමිටුව අද සය වැනි දිනටත් රැස්වුණා.
ඒ අනුව වැලිගම වෙඩි තැබීමේ සිද්ධියේ සාක්ෂි විමසීම අවසන් වන තුරු අද සිට අඛණ්ඩව එකී කමිටුව රැස්වීමට නියමිතව තිබෙනවා.
අද පෙරවරුවේ කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙනු ලැබුවේ වෙඩි තැබීම සිදුවූ කාලවකවානුවේ පොලිස් විශේෂ කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ වර්තමානයේ මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතායි.
අධිකරණය මගින් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව එහි සභාපති ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වුණා.
ඉකුත් 11 වැනිදා මෙම කමිටුව අවසන් වරට රැස්වූ අතර අද සිට වැලිගම වෙඩි තැබීමේ සිද්ධියේ සාක්ෂි විමසීම අවසන් වන තුරු කමිටුව අඛණ්ඩව රැස්වීමට නියමිතයි.
කමිටුව ආරම්භයේදීම අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරිස් මහතා කමිටුවෙන් ඉල්ලා සිටියේ පොලිස් කොමිසමේ ලේකම්වරයාට ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බැවින් ඔහු සාක්ෂි සඳහා කැඳවන ලෙසයි.
ඒ අනුව කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඔහු කමිටුව හමුවට කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ සහකාර ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා.
ප්‍රථමයෙන් කමිටුව හමුවේ සාක්ෂි ලබා දෙනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතායි.
දි – ඔබට 2023 දෙසැම්බර් 29 වැනිදා හරක් කටා සමඟ සම්බන්ධතා පවත්වන පුද්ගලයින් 149 දෙනෙක් සම්බන්ධයෙන් ලැයිස්තුවක් ලැබුණද..?
නි – ඔව් ස්වාමීනි, ඔවුන් සම්බන්ධයෙන් ලැයිස්තුවක් ලැබුණා. මට පැවරිලා තිබුණේ ඔවුන්ගේ දුරකථන දත්ත වාර්තාවලට අනුව සවිස්තර වාර්තාවක් සපයන එක.
දි – ඔබ ඒ පිළිබඳව කාටද දැනුවත් කළේ..?’
නි – මම ඒ ගැන පොලිස්පතිතුමාට සහ එවකට කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා ට දැනුම් දුන්නා
දි – ඉකුත් දෙසැම්බර් 30 වනදා වැලිගම ප්‍රදේශයේ සිදු වූ සිදුවීම සම්බන්ධව ඔබෙන් වාර්තාවක් කැඳවූවා ද..?
නි – නැත ස්වාමීනි, මගෙන් එවැනි වාර්තාවක් කැඳවූයේ නෑ.
දි – ඔබ වාර්තාවක් දුන්න ද..?
නි – නැත ස්වාමීනි, මගෙන් විමසුවොත් මම වාර්තාවක් ලබාදෙනවා ස්වාමීනි
නමුත් මගෙන් ඉල්ලා සිටියේ නෑ එවැනි වාර්තාවක් ලබා දෙන ලෙස
දි – එදා වැලිගම සිද්ධියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වැලිගම සිදුවීම සම්බන්ධයෙන් ලබාදුන් සාක්ෂිවල පරස්පරතාවයක් තියෙනවා කියලා ඔබට පෙනුණ ද..?
නි – ඔව් ස්වාමීනි, එවැනි දෙයක් මට පෙනුණා.
දි – යම් විමර්ශනයක් සිදුකළා නම් යම් තොරතුරක් අනාවරණ කරගැනීමේ හැකියාවක් තිබුණ ද..?
නි – එසේය ස්වාමීනි, මා විමර්ශනයක් කළා නම් යම් තොරතුරක් අනාවරණ කර ගැනීමේ හැකියාවක් තිබුණා.
දි – අදාළ වෙඩි තැබීමෙන් මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරියාට පොලිස් ත්‍යාග මුදලින් රුපියල් ලක්ෂ 15ක මුදලක් දුන් බව ඔබ දැන සිටියා ද..?
නි – ඔව් ස්වාමීනි, මම දැනගෙන සිටියා
දි – එවැනි මුදලක් ලබා දීමේ හැකියාවක් තියෙනවා ද..?
නි – ස්වාමීනි, ලබාදීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසි ක්‍රමවේදයට අනුවයි.
ප්‍රී – කවුද ඒක දෙන එක තීරණය කරන්නේ..?
නි – අදාළ යෝජනාව එම අංශය භාර නිලධාරියාගේ එකඟතාව මත උසස් නිලධාරීන්ගේ අනුමැතිය යටතේ පොලිස්පතිතුමාගේ අනුමැතිය තුළින් එය ලබාදිය හැකියි.
ප්‍රී – ඉතිං මේ වැලිගම සිදුවීමේදී මියගිය පොලිස් නිලධාරියා ත්‍යාග ලබාගන්න තරම් දෙයක් කරලා තියෙනව ද..?
නි – ස්වාමීනි, මම එවකට එය ලබාදිය යුතුයි යන ස්ථාවරයේ හිටියා. නමුත් ස්වාමීනි, මම දැන් හිතනවා එය හිමිවිය යුතු නැහැ කියලා.
ප්‍රී – මොකද ඔබ එහෙම හිතන්නේ..?
නි – මුදල් දෙන්න ඉක්මන් වුණා වැඩියි ස්වාමීනි, ටිකක් පහුවෙලා ඒක දෙන්න තිබුණා.
ප්‍රී – ඒක විමර්ශනවලට බාධාවක් කියලා ඔබ දකිනවද..?
නි – ඔව් ස්වාමීනි, එය බාධාවක් වෙන්න ඇති. මොකද ත්‍යාග මුදලක් දුන්නට පස්සේ යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කරලා තියෙන දේ නිවැරදි දෙයක් කියලා. නමුත් එතන අනීතික දෙයක් වෙලා තියනවා ස්වාමීනි
ප්‍රී – ඔබ හිතනවද ඒක ත්‍යාග මුදලක් හිමි විය යුතු දෙයක් කියලා..?
නි – නෑ ස්වාමීනි, හිමි විය යුතු නැහැ.
ප්‍රී- ඇයි ඒ..?
නි- ස්වාමීනි, දැනට පෙනී ගිහින් තියනවා එදා ඒ සිදුවීම අනීතික ක්‍රියාවක් කියලා.
ප්‍රී – වැලිගම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් මේ මෙහෙයුමට ආවා. එයාලා තමයි වෙඩි තැබීම සිදු කරලා තිබුණේ. ඒ නිලධාරීන්වත් යම් ඇගයීමකට ලක්කළ යුතුයි කියලා ඔබ හිතනවද..?
නි – ස්වාමීනි, විශේෂ මෙහෙයුමකට, මත්ද්‍රව්‍ය ජාවාරමකට, සංවිධානාත්මක අපරාධයකට, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන විශේෂ මෙහෙයුම්වලට දායකත්වයක් ලබාදෙන ඔවුන් ඇගයීමට ලක් කළ යුතුයි.
ප්‍රී – එහෙනම් වැලිගම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්වත් යම් ඇගයීමකට ලක්කළ යුතුයි කියා ඔබ හිතනවද..?
නි- මම හිතනවා ස්වාමීනි, ඔවුන්ටත් යම් ත්‍යාග මුදලක් හිමි විය යුතුයි කියලා.
ප්‍රී – ඇයි ඔබ එහෙම හිතන්නේ..?
නි – ස්වාමීනී, යම් අපරාධයක් වළක්වා ගැනීම ආරක්ෂක අංශ සතු කාර්ය භාරයක්. සංවිධානාත්මක අපරාධ මර්දනය, මේ සියලු දේවල්වලදී ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම පොලිස් නිලධාරියාගේ වගකීමක්. මේ නිලධාරීන් කරලා තියෙන්නේ එවැනි ක්‍රියාවක් ස්වාමීනි
දි – එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්න කියලා මාතර අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළ බව ඔබ දන්නව ද..?
නි – ඔව් ස්වාමීනී,
දි – එදින ඔබට පොලිස්පතිතුමා එම නියෝගයෙන් පස්සේ කතා කළා ද..?
නි – ඔව් ස්වාමීනි, එතුමා මට කතා කළා. එදා තමයි මගේ අම්මා මිය ගිහින් අවුරුදු දෙකේ දානය තිබුණේ.
දි- මොනවද ඇහුවේ..?
නි – මගෙන් ඇහුවා ස්වාමීනි, මේ වෙනකොට තත්ත්වය මොකක්ද ? මාව අත්අඩංගුවට ගන්න කියලා නියෝගයක් නිකුත් කරලා තියෙනවද..? ඒ නියෝගය නිකුත් කරලා තියෙන්නෙ කවුද..? මීළඟ නඩු දිනය කවදද..? අන්න ඒ ප්‍රශ්න මගෙන් විමසුවා ස්වාමීනි, ඒත් ස්වාමීනි, සමහර දෙවල්වලදී මමත් ටිකක් මඟඇරියා. නමුත් මගෙන් දිගින් දිගටම ප්‍රශ්න අහද්දි මම සමහර දේවල් කිව්වා ස්වාමීනි
ඒ අයුරින් මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා ප්‍රශ්න කරනු ලැබුවා.
දි – ඔබ මේ සාක්ෂි දෙනකොට දේශබන්ධු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් මේ කමිටුව හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදු කළා ද..?
නි – ස්වාමීනී, මම එතුමා සම්බන්ධයෙන් අසත්‍ය දේවල් ප්‍රකාශ කළ යුතු නැහැ. දේශබන්දු තෙන්නකෝන් කියන්නේ දක්ෂ නිලධාරියෙක්. විශාල සේවයක් කරපු කෙනෙක්. නමුත් වැලිගම සිද්ධිය සම්බන්ධයෙන් මට තියෙන්නේ එතුමා ගැන ලොකු කණගාටුවක්. ඒ නිසා මම කියනවා වැලිගම සිදුවීම සිදුවිය යුතු දෙයක් නෙවේ කියලා.
ඉන් අනතුරුව වගඋත්තරකාර දේශබන්ධු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සංජීව වීරවික්‍රම මහතා මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගෙන් හරස් ප්‍රශ්න විමසා සිටි අතර වගඋත්තරකාර පාර්ශ්වයේ නීතීඥවරයා දිගින් දිගටම කියා සිටියේ සාක්ෂි කරු වන නිශාන්ත ද සොයිසා අසත්‍ය ප්‍රකාශ ලබා දෙන බවයි.
තවද වෙඩි ප්‍රහාරයට ලක් වූ වැලිගම හෝටලය ඇතුළු හෝටල් අටක් පිළිබඳව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ඡායාරූප සහ වීඩියෝ දර්ශන ගෙන්වා ගත් බවට අසත්‍ය කරුණු ද නිශාන්ත ද සොයිසා කමිටුව හමුවේ ඉදිරිපත් කල බව වගඋත්තරකාර පාර්ශ්වයේ නීතීඥවරයා සඳහන් කළා.
වගඋත්තරකාර පාර්ශ්වයේ නීතීඥ සංජීව වීරවික්‍රම මහතා සඳහන් කළේ වෙඩි ප්‍රහාරයට ලක් වූ වැලිගම W15 හෝටලයේ 2023 දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ ෆේස්බුක් සාදයක් සංවිධාන කර ඇති බවත් ලබාදුන් උපදෙස් මත ඊට අදාල තොරතුරු එවකට පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට යොමු කල බවත් කොමිසම හමුවේ ප්‍රකාශ කිරීම අසත්‍ය බවයි.
කෙසේ වෙතත් එම ප්‍රකාශ සියල්ල සලකා බැලූ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරිස් මහතා යම් යම් කරුණු පැහැදිලි කරගත් අතර ඉන් අනතුරුව කමිටුව හමුවේ සාක්ෂි ඉදිරිපත් කළේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් වැලිගම W15 හෝටලයට වෙඩි තබන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි වැලිගම පොලිස් මුර සංචාර ජිප් රථයේ සිට කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන් දෙසට වෙඩි තැබූ යුධ හමුදා නිලධාරියායි.
එහිදී අදාල යුද හමුදා නිලධාරියා කමිටුව හමුවේ කියා සිටියේ කිසියම් ආකාරයේ අපරාධ කල්ලියක පිරිසක් හෝටලය දෙසට වෙඩි තබනවා යැයි සිතා තමන්ට ලැබුණු නියෝග මත අදාල වෙඩි තැබීම සිදු කල බවයි.
තවද තමන් ඇතුලු පොලිස් නිලධාරීන් කණ්ඩායම ගමන් ගත් ජීප් රථය අදාළ වෑන් රථයේ ඉදිරිපසින් නතර කළ බවත්, එය පලා යමින් සිටියදී වෙඩි තැබීම සිදුකළ බවත් අදාළ යුද හමුදා නිලධාරියා කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.
එහිදී එම නිලධාරියා කමිටුව හමුවේ අවධාරණය කළේ වෑන් රථයේ පොලිස් නිළධාරීන් සිටි බවට දැන සිටියේ නම් කිසිදු ආකාරයක වෙඩි තැබීමක් සිදු නොකරන බවයි.