
විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වෙති
විචිත්‍ර මෙන්ම ප්‍රකට ධර්ම කථිකයකු වූ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අද (29) දහවල් කොළඹ ජාතික රෝහලේදී අපවත් වී තිබෙනවා.
අපවත් වන විට උන් වහන්සේ 62 හැවිරිදි වියේ පසු වූ අතර දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයේ පසුවූ බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් වසර එකහාමාරකට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලැබුවා.
පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දේහය දොම්පේ කල්‍යාණ ධර්මාශ්‍රමයේ තැම්පත් කර තැබීමට නියමිතයි.
මෙරට තරුණ ප්‍රජාව ආගම දහමට නැඹුරු කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානයේ නිර්මාතෘ හිමියන් වන අතර දෙල්ගොඩ උඩුපිල දහම් මැඳුර, විපස්සනා භාවනා මධ්‍යස්ථානය, කොට්ටුන්න සිරි දේවමිත්ත යෝගාශ‍්‍රමය, කතරගම නීලකාරාම මහසෙන් භාවනා මධ්‍යස්ථානය, අත්තනගල්ල ඌරපොල දහම් මැඳුර යන ධර්ම නිකේතනයන් බිහිකරමින් ඒවාට උගත්, විනයධර ශිෂ්‍යවරයන් වහන්සේලා පත් කරමින් මහත්වූ ශාසනික සේවයක නිරතව විය.