විදේශ රැකියාවල නිරතව ලංකාවට පැමිණි ශ්‍රමිකයින්ටත් අඩු පොලී ණය පහසුකම්

විදේශ රැකියාවල නිරතව ලංකාවට පැමිණි ශ්‍රමිකයින්ටත් අඩු පොලී ණය පහසුකම්

විදේශගත ශ්‍රමිකයින්ටත් විදේශ රැකියාවල නිරතව මෙරටට පැමිණ ව්‍යවසායකයින් ලෙස කටයුතු කිරීමට අපේක්ෂිත අයටත් අඩු පොලී ණය පහසුකම් ලබාදෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළා.

අද (25) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ විදේශ රැකියාවල නිරතවන ගෘහ සේවිකාවන්ගේ පවුල්වල තත්ත්වය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසු විපරම් කරන බවයි.

” විදේශගත ශ්‍රමිකයින්ගේ වගේම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් කාර්යාංශය කටයුතු කරනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා රැකියා සඳහා පිටත්ව යන සියලුම ශ්‍රමිකයින්ගේ දත්ත කාර්යාංශයේ පරිඝනක පද්ධතියේ ඇතුළත් වෙනවා. ඒ වගේම විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන් හරහා පවුල්වල සුබසාධනය හා ආරක්ෂාව සම්බ්නධයෙන් කටයුතු කරනවා.

රට ගියාම පවුලේ අය ගැන බලා ගන්නවා වගේම, රට ගොස් නැවත පැමිණෙන ශ්‍රමිකයා සවිබල ගැන්වීමටත් කටයුතු කරනවා. විදේශ ගත ශ්‍රමිකයින්ට මිලියන දෙකක් දක්වා අඩු පොලීයට ණයක් ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අයට වගේම නැවත ලංකාවට පැමිණි ශ්‍රමිකයින් ව්‍යවසායකයින් බවට පත් කිරීමට මෙම ණය ක්‍රමය තවත් පුලුල් කරන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ අංශය මගින් විදේශ රැකියාවල නියුතුවූවන්ගේ ගැටලුවලට විසදුම් ලබාදෙනවා.

අපි හැම තිස්සේම අහුවෙන්න එපා කියනවා. එක එක රැලිවලට අහුවෙනවා වගේ එක එක කතාවලට අපේ මිනිස්සු අහුවෙනවා. නීත්‍යානුකූල මාර්ගයෙන් විදේහගත වෙන්නෙ කියලා කිව්වට නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ ගිහින් නොයෙක් දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. ‍පසුගිය කාලයේදී පැවති විවිධ අස්ථාවරභාවයන් නිසා මොන විදියකට හරි රටින් යන්න ඕන කියලා හිතපු කණ්ඩායමක් ඉන්නවා. එතැනදී ව්‍යාජ උදවියගේ ග්‍රහණයට ලක්වෙනවා.”

 

Share This