විමල් – පුවක්දණ්ඩාවේ සනා ගැන පොලීසියට ප්‍රකාශයක් දෙන්න ලබන ඉරිදා දක්වා කල් ඉල්ලයි

විමල් – පුවක්දණ්ඩාවේ සනා ගැන පොලීසියට ප්‍රකාශයක් දෙන්න ලබන ඉරිදා දක්වා කල් ඉල්ලයි

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පිළිබඳ කළ අනාවරණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට තංගල්ල දිසා අධිකරණ කොට්ඨාසය මගින් ඊයේ දැනුම් දීමක් කර තිබුණා.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා ලබන ඉරිදා ඊට අදාළව ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන බවට දැනුම් දී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීම සහ රෝහල් ගත කළ අයෙකු මිය යාමෙන් පසු කළ විමර්ශනවල ප්‍රතිඵල මත අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700 කට අධික ප්‍රමාණයක් සමඟ ලොරි රථ 3ක් විමර්ශන නිලධාරීන්ගේ භාරයට ගනු ලැබුවා.

එහිදී ටී 56 වර්ගයේ අවියක් ඇතුළු ගිනි අවි 5ක් ද සිය භාරයට ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කළ අතර සැකකරුවන් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළා.

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන උණාකූරුවේ ශාන්ත සහ කළු සාගර නැමැත්තා එම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බවට වාර්තා වූ අතර එම මත්ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කිරීමේ චෝදනා මත තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් එක් සැකකරුවෙක් වන බහුදින යාත්‍රාවක හිමිකරුවෙක් වන පුවක්දණ්ඩාවේ සනා නැමැත්තා සහ ඔහුට ඇති දේශපාලන හිතවත්කම් පිළිබඳ ඉකුත් 2 වැනිදා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකදී අනාවරණ කළා.

Share This