වී සඳහා චක්‍රලේඛය නිකුත් කෙරේ

වී සඳහා චක්‍රලේඛය නිකුත් කෙරේ

රජයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහනට අදාළ චක්‍රලේඛය මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා.

2022/2023 මහ කන්නයේ වී අස්වැන්න සඳහා ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමත්, අතිරික්තය රජය විසින් මිලදී ගැනීමත්, පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමත් මෙම වැඩසටහනේ අරමුණයි.

මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන් හා සමූපකාර සමිති හරහා දිස්ත්‍රික් ලේකම්වරු විසින් නාඩු වී පමණක් මිලදී ගැනීමට නියමිතයි.

ඒ අනුව උපරිම තෙතමනය 14%ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 100කට ද, තෙතමනය 14% ඉක්මවන හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 88කට ද මිලදී ගනු ඇති.

මිලදී ගන්නා වී තොග කඩිනමින් සහල් කර 2023 මාර්තු සහ අප්‍රේල් මාස තුළදී බෙදා හැරීමට සැලසුම් කර ඇති බැවින් ඒ සඳහා වී කොටා අවසන් කළ හැකි වන පරිදි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්/ සමූපකාර සමිතිවල වී කෙටීමේ ධාරිතාව සලකා බලා වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් එම වී මෝල් හිමියන් හා සමූපකාර සමිතිවලට ලබාදිය යුතු වනවා.

වගාකර ඇති භූමි ප්‍රමාණය අනුව එක් ගොවියෙකුගෙන් මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය අක්කර 01 දක්වා කිලෝ ග්‍රෑම් 2,000ක් ද, අක්කර 1-2 දක්වා වී කිලෝ ග්‍රෑම් 4,000ක් ලෙස ද අක්කර 2ට වැඩි වී කිලෝ ග්‍රෑම් 5,000ක් ලෙස ද දක්වා තිබෙනවා.

 

Share This