
ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනා
ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කළා
ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමින්
වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදු වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ඒ අනුව පවතින ආර්ථික ස්ථාවරත්වය තුළ ගොඩ නැගුණ අත්තිවාරම මත නැවත නැඟී සිටීමට සහාය ලබා දීමට තම රජය සූදානම් බවද එහිදී අවධාරණය කළා
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීම මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අරමුණයි
ඒ අනුව අපනයන ක්ෂේත්රයට සහ ආර්ථික ප්රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය ලෙස ජනාධිපති අපනයන සම්මානය පිරිනැමෙනවා
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ ලෝකයේ වෙළෙඳපොළ ආර්ථිකය රඳා පවතින්නේ ස්වයං හෝ ස්වාධීනව නොවන බැවින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාවෙන් පරිබාහිර ආර්ථිකයේ කොටස්කරුවන් ශ්‍රී ලංකාව කෙරෙහි තබන විශ්වාසය ඉතා වැදගත් බවයි.
වර්තමාන ලෝකය තුළ වෙළෙඳපොළ බෙදාගෙන අවසන් වී තිබීම හා යළි වෙළෙඳපොළ බෙදා ගැනීම සඳහා තරඟයක් ඇති වී තිබීම තුළ ප්‍රමාණවත් පංගුවක් අත්පත් කර ගැනීම අප රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බවද ජනාධිපතිවරයා එහිදී පැවසුවා
එමෙන්ම එහිදී ගුණාත්මකභාවයෙන් වෙළෙඳපොළට පිවිසීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට තම රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළා