
ශ්‍රීලංකන් ගුවන් සේවයට ජාත්‍යන්තර සම්මානයක්
ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා සිංගප්පූරුවේදී පැවති කීර්තිමත් සම්මාන උළෙලක් වන Asia eCommerce Awards 2025 හිදී ‘විශිෂ්ටතම විකුණුම් වර්ධන ක්‍රමෝපාය’ කාණ්ඩය යටතේ රිදී සම්මානයක් දිනා ගැනීමට සමත් විය.
මෙය ශ්‍රීලංකන් ගුවන් සේවය ආසියානු කලාපයේ විද්‍යුත් වාණිජ්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සන්නාම අතර රැඳවූ සුවිශේෂී ජයග්‍රහණයකි.
ඩිජිටල් ක්‍රමෝපායන් සහ නවෝත්පාදනයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ ප්‍රධානතම අරමුණ වූ අතර, විවිධ ක්ෂේත්‍රවලට අයත් ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් නියෝජනය කළ ප්‍රවීණ වෘත්තිකයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් එහි ජයග්‍රාහකයන් තීරණය කරන ලදි.
“ගුවන් සේවා ක්ෂේත්‍රය වැනි නිරන්තරයෙන් වෙනස් වන ක්ෂේත්‍රයකට නව ආදර්ශ හඳුන්වා දෙමින් ඉදිරියට යාම සඳහා අප ගන්නා උත්සාහය මේ ආකාරයට සම්මානයට පාත්‍ර වීම අපට මහත් ගෞරවයක්. පාරිභෝගිකයන්ගේ පහසුව වැඩිදියුණු කරන අතරම අපගේ ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීම සඳහා අප සෑම විටම ලොව විශිෂ්ටතම තාක්ෂණය භාවිතා කිරීමට උත්සාහ කරනවා. පසුගිය කාලය තුළ මෙම අරමුණු මූලික කරගනිමින් වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීමට අපට හැකි වුණා. එම වැඩසටහන් බෙහෙවින් සාර්ථක වී ඇති බවට මෙම සම්මානය සාක්ෂි දරනවා.” යැයි
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (වාණිජ සේවා හා සහය) ගයාන් වික්‍රම මහතා පවසනවා.
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ඩිජිටල් ව්‍යාපාරික ක්‍රමෝපාය යටතේ Google Ads ද භාවිතා කරමින් තම සන්නාමයට පුළුල් ප්‍රචාරණයක් ලබාදෙන අතරම, සෘජුව තම වෙබ් අඩවිය හරහා ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට පාරිභෝගිකයන් උනන්දු කරවීමට සමත් වී ඇත.
මේ සඳහා Google මගින් හඳුන්වා දී ඇති, AI තාක්ෂණයද සහිත සුවිශේෂී සේවාවක් වන Power Pair භාවිතයට ගැනීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කර තිබේ. මෙමගින් ශ්‍රීලංකන් සන්නාමයට වැඩි ප්‍රචාරයක් ලබා දෙන අතරම, මිලදී ගැනීමක් සිදුකිරීමට සූදානමින් සිටින පාරිභෝගිකයන් වෙත වඩාත් පහසුවෙන් ළඟා වීමට හැකි වී ඇත. මේ ආකාරයට නවීන තාක්ෂණය භාවිතා කිරීම තුළින් ශ්‍රීලංකන් ගුවන් සේවයට තම ප්‍රධාන වර්ධන ඉලක්ක පසුකර යමින්, ගෝලීය වෙළඳපොළවල් තුළ තම ඩිජිටල් ආවරණ පරාසය තවදුරටත් පුළුල් කරගැනීමට හැකි වී ඇත.
මාස කිහිපයකට පෙර ශ්‍රීලංකන් ගුවන් සේවය අන්තර්ජාලය හරහා වඩාත් කාර්යක්ෂම ලෙස ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේ පහසුව ලබාදෙන, ජංගම දුරකථන ඔස්සේද පහසුවෙන් භාවිතා කළ හැකි Internet Booking Engine ක්‍රමවේදයක් දියත් කළේය.
එයට ඇතුළත් කර ඇති AI තාක්ෂණය මගින් බලගැන්වෙන Chatbot සේවාව, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ක්ෂණිකව සේවාවන් ලබාදෙයි.
එමෙන්ම ගෙවීම් කිරීමේදී Visa, MasterCard, American Express, Diners Club, Discover, Alipay, WeChat Pay සහ UnionPay ඇතුළුව ජාත්‍යන්තර ගෙවීම් ක්‍රම රාශියක් භාවිතා කිරීමටද අවස්ථාව සලසා දී ඇත. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට ගාස්තු වෙනස් නොවීමේ සහතික හෝ පොලී රහිත සැලසුම් සමගින් පහසු ගෙවීමේ ක්‍රමද තෝරාගත හැකි වේ.
ඉදිරියේදීත් ගෝලීය ගෙවීම් සේවාවන් සමග අත්වැල් බැඳගනිමින් තම ජාත්‍යන්තර පාරිභෝගිකයන් වෙනුවෙන්ද වඩාත් පුළුල් පරාසයක පැතිරුණු නව්‍ය හා පහසු ගෙවීම් ක්‍රම හඳුන්වා දීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගනිමින් සිටී.
පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා කාර්යක්ෂම ලෙස සපුරාලන අතරම ශ්‍රීලංකන් ගුවන් සේවයේ ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීමේ අරමුණින්, එම අරමුණු සාර්ථක ලෙස සපුරාගැනීමට හැකි වීම හේතුවෙන් www.srilankan.com වෙබ් අඩවිය මේ වන විට සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබෙනවා.


