ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන අලුත් තීරණයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන අලුත් තීරණයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීම සඳහා වන සැලසුම අත්හැර දැමීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ මහතා පවසනවා.

ඒ මහතා උපුටා දක්වමින් TTG Asia වෙබ් අඩවිය මේ බව වාර්තා කර ඇති අතර වඩා ලාභ ලබන ගුවන් සේවයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් ශ්‍රී ලංකන් ගුවන්සේවය තුළ සිදු කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

වර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය විසින් එහි කොටස් මිලදී ගැනීම සහ කළමනාකරණය සඳහා ලංසු කැඳවා තිබුණා.

ඒ අනුව ගුවන්සේවයේ කොටස් 51% රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකිණීමට නියමිතව තිබු බව සඳහන්.

2022 අප්‍රේල් සිට 2023 මාර්තු දක්වා වූ කාලය සඳහා මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වී ඇති අතර එහි එකතුවී ඇති ණය ඩොලර් බිලියන 1.2ක් ලෙස දැක්වෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවය මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා වැදගත්ම සාධකයක් වන බව පෙන්වාදී ඇති සරත් ගනේගොඩ මහතා ලබන වසරේ සංචාරකයින් මිලියන 3ක් සහ 2030 වන විට මිලියන පහක් සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මේ වසරේ මිලියන 2.3ක් පැමිණීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කෙරෙන බවයි සඳහන් කර ඇත්තේ.

Share This