
ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම් – ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින්
ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා වල නිරත වී තිබෙනවා.
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වසර 75කට වඩා වැඩි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේ අන්‍යෝන්‍ය ප්රතිලාභ සඳහා පවතින සහයෝගිතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණා.
ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය මෙහිදී අවධාරණය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබාදීමට ඕස්ට්‍රේලියාව සූදානම් බවයි.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව අග්‍රාණ්ඩුකාරවරිය අවධාරණය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාවේ ඉතාම හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (06) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වනු ලබන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමටත් නියමිතයි.
ඕස්ට්‍රේලියානු දූත පිරිස සමඟ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි සිටියා.