
ශ්‍රී ලංකාවේ ඕලන්ද උරුමය රකින්න නෙදර්ලන්තය උනන්දු වේ
ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම යාපනය ප්‍රදේශයේ පවතින ඕලන්ද උරුමයන් ආරක්ෂා කර ගනිමින් නව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති අයිවන් රට්ජන්ස් (Iwan Rutjens) මහතා පෙන්වා දී තිබෙනවා.
ඔහු ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මුණ්ගැසී දැනුම් දී ඇත්තේ තම රටේ විශේෂඥයින් යාපනය ප්‍රදේශයේ සංචාරය කර ඇති අතර, එම උරුමයන් සුරැකීම සඳහා සහයෝගය දැක්වීමට උනන්දුවක් දක්වන බවයි.
ශ්‍රී ලංකා-නෙදර්ලන්ත ධීවර සහ ජලජ ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති අයිවන් රට්ජන්ස් (Iwan Rutjens) මහතා අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (19) සිදු වුණා.
වැලි පිරී භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති ඕලුවිල් ධීවර වරාය සඳහා තාක්ෂණික විසඳුමක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර දැක්වූ රට්ජන්ස් මහතා, කලාපයේ ප්‍රමුඛ පෙළේ ලන්දේසි සමාගම් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන බවත්, යෝජිත තාක්ෂණික විසඳුම සාර්ථක වුවහොත් ඒ සඳහා සහනදායී ණය (Soft Loan) පහසුකමක් ලබා දීමේ හැකියාව සොයා බලන බවත් පවසා තිබෙනවා.