ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය රුපියල ගැන බලාපොරොත්තුවක්
ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය රුපියල වෙනත් මුදල් විදේශීය මුදල් ඒකකයකට පරිවර්තනය කිරීමට හැකි වන ලෙස පහසුකම සක්‍රීය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු “INR nostro ගිණුම්” විවෘත කිරීම සඳහා ඉන්දියානු බැංකුවක් සමඟ ගිවිසුමක් අත්සන් කළ යුතු බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.
මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ඉන්දීය ජනමාධ්‍ය වාර්තාවලට අනුව මෙම පහසුකම භාවිත කරමින්, අපනයන, ආනයන සහ ප්‍රේෂණ ඇතුළු සියලුම ජංගම ගිණුම් ගනුදෙනු ශ්‍රී ලාංකිකයන් සහ අනේවාසිකයින් අතර සිදු කළ හැකියි.
එහිදී ශ්‍රී ලාංකිකයන් අතර ගනුදෙනු සිදු කළ හැක්කේ බැංකු මාර්ග හරහා පමණක් බවත්, ඒ අවසර ලත් ක්‍රියාකාරකම් සඳහා පමණක් බවත් එම වාර්තාවල සඳහන් වනවා.
මෙම විධිවිධානය මීට මාස කිහිපයකට පෙර ඉන්දියාව විසින් අනුමත කරන ලද අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට මාස කිහිපයකට පෙර ඉන්දීය රුපියල ශ්‍රී ලංකාව තුළ නම් කරන ලද විදේශ මුදල් ඒකකයක් ලෙස නිල වශයෙන් දැනුම් දුන්නා.
ශ්‍රී ලංකාව ඉන්දියානු රුපියල (INR) ශ්‍රී ලංකාවේ නම් කරන ලද විදේශ මුදල් ඒකකයක් ලෙස වර්ගීකරණය කිරීමට ඉන්දීය සංචිත බැංකුවේ (RBI) අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටි අතර ඉන්දියාව ඇතුළු සාර්ක් කලාපයේ වෙළෙඳ සහ සංචාරක කටයුතු සඳහා පහසුකම් සැලසීමට සහ ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ඉන්දීය සංචිත බැංකුව වෙතින් මෙම ඉල්ලීම කර තිබුණා.
ඉන්දියානු රුපියල පිළිගත් නිල විදේශ මුදල් ඒකකයක් ලෙස නම් කිරීමට ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලා සිටීමෙන් පසුව, ශ්‍රී ලාංකිකයන්ට දැන් ඇමරිකානු ඩොලර් 10,000 වටිනා ඉන්දියානු රුපියල් භෞතික ස්වරූපයෙන් තබා ගත හැකි බව ඉන්දියාව පසුගිය සතියේ නිවේදනය කළා.
ඉන්දීය රුපියලට අමතරව, ඕස්ට්‍රේලියානු ඩොලර්, නෝර්වීජියානු ක්‍රෝනර්, කැනේඩියානු ඩොලරය, චීන යුවාන්, සිංගප්පූරු ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, යුරෝ, ස්විස් ෆ්රෑන්ක්, හොංකොං ඩොලර්, තායි බාට්, ජපන් යෙන්, එක්සත් ජනපද ඩොලරය සහ නවසීලන්ත ඩොලර් ශ්‍රී ලංකාව තුල සන්තකයේ තබාගත හැකි විදේශීය මුදල් ඒකක ලෙස පිළිගෙන තිබෙනවා.
මෙලෙස ඉන්දීය රුපියල ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල මුදල් ඒකකයක් ලෙස නම් කිරීමත් සමග, රට තුළ ප්‍රමාණවත් ඩොලර් සංචිතයක් නොපවතින ගැඹුරු ආර්ථික අර්බුදයක් මධ්‍යයේ, ශ්‍රී ලංකාවට සිය ගැටළු මඟහරවා ගැනීමට අවශ්‍ය ද්‍රවශීලතා සහාය ලබා දෙනු ඇති බවයි පැවසෙන්නේ.
ඉන්දියානු රුපියල ආසියාතික රටවල් අතර ජනප්‍රිය කිරීමට සහ එක්සත් ජනපද ඩොලරය මත එම රටවල් යැපෙන ප්‍රමාණය අඩු කිරීමට ඉන්දීය රජය දරන ප්රයත්නයට අනුව ඉන්දීය සංචිත බැංකුව විසින් අන්තර්ජාතික වෙළඳාමේදී ඉන්දීය රුපියල්වලින් ගනුදෙනු කිරීමේ යාන්ත්‍රණයක් සකස් කර තිබෙනවා.
“ඉන්දියාවේ අපනයනය කෙරෙහි අවධානය යොමුකරමින්, ගෝලීය වෙලඳාම වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ඉන්දීය රුපියල කෙරෙහි ගෝලීය වෙළඳ ප්‍රජාවේ වැඩිවන උනන්දුව වෙනුවෙන් මෙම යාන්ත්‍රණය සකස් කර තිබේ. ඇතැම් රටවල් සමඟ වෙළඳාම සඳහා එක්සත් ජනපද ඩොලරය වැනි ගෝලීය මුදල් භාවිත කිරීම වළක්වන නීතිරීති හේතුවෙන් ගැටළු උද්ගතව ඇති අතර, එවැනි ගැටළු වළක්වා ගැනීම සඳහා ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට පහසුකම් සැලසීමට මෙම යාන්ත්‍රණය ඔස්සේ අපේක්ෂා කෙරේ.” යැයි ඉන්දීය සංචිත බැංකුව සඳහන් කර තිබෙනවා.
විශේෂයෙන්, රුසියාව යුක්රේනයට පහර දීමෙන් පසු රටවල් ගණනාවක් රුසියාවට සම්බාධක පනවා තිබෙන අතර එවැනි තත්වයකදී, ආනයන සඳහා විකල්ප ගෙවීම් ක්‍රම සොයමින් සිටි ඉන්දියානු සමාගම්වලට මෙම නව යාන්ත්‍රණය භාවිත කළ හැකි වනවා.
මේ වන විට ශ්‍රී ලංකා රුපියල ඇත්තේ ඉන්දීය රුපියලට සාපේක්ෂව 0.22ක අගයකය. එනම් ඉන්දීය රුපියලක් වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් 4.43ක් ගෙවිය යුතුය. මෑත කාලීනව ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස අවප්‍රමාණය වූ නමුත් ඉන්දීය රුපියල සම්බන්ධයෙන් ගත්කළ එහි බලපෑම ඩොලරය තරම් අතිමහත් නොවේ. එමනිසා ආනයන අපනයන ක්‍රියාවලියේදී ඉන්දීය රුපියල ශ්‍රී ලංකාව වෙනුවෙන් සැලකිව යුතු කාර්යභාරයක් ඉදිරියේදී ඉටුකරනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.
දෙසැම්බර් 01 වැනිදා සිට ඉන්දියාව G20 රටවල් කණ්ඩායමේ සභාපතිත්වය භාර ගැනීමත් සමඟ ඉන්දීය ආර්ථිකය තවදුරටත් ව්‍යවහාර මුදල් ස්ථාවර කරමින් වර්ධනය වීමට සූදානමින් සිටින අතර මෙම වසරේ ජූලි 11 වන දින, ඉන්දියානු සංචිත බැංකුව (RBI) චක්‍රලේඛයක් නිකුත් කරමින් කියා සිටියේ, “ඉන්වොයිස් කිරීම, ගෙවීම සහ ඉන්දීය රුපියලෙහි අපනයන සහ ආනයන පියවීම සඳහා අතිරේක විධිවිධානයන් සැකසීමට” තීරණය කර ඇති බවයි.
ගෝලීය වෙළඳ ප්‍රජාවේ උනන්දුව වැඩිකිරීම සඳහා සඳහා මෙම පියවරයන් අනුගමනය කරන බව ඉන්දීය සංචිත බැංකුව පෙන්වා දෙනවා.ඉන්දියාව සහ අනෙකුත් රටවල් අතර වෙළඳ ගනුදෙනු රුපියල්වලින් සිදු කිරීමට ඉඩ දීමේ තීරණයෙන් රුසියාව සමඟ ඇති ව්‍යාපාරවලට වැඩි වාසියක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඊට හේතුව එක්සත් ජනපදයේ සහ බටහිර රටවල සම්බාධක හමුවේ මන්දෝත්සාහිවී සිටින රුසියානු ගැනුම්කරුවන්ට මෙමගින් ගනුදෙනු වෙනුවෙන් නව මාධ්‍යයක් විවෘත වන බැවිනුයි.අනෙක් අතට මෙලෙස ලොව තවත් රටවල අවධානය් වැඩි වැඩියෙන් ඉන්දීය රුපියල කෙරෙහි යොමුවීමත් සමග රුපියල අවප්‍රමාණය වීම අඩු කරනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.
ගෝලීය ආර්ථික අවපාතය හමුවේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ලොව බොහෝ මුදල් ඒකක බරපතල ලෙස අවප්‍රමාණ වී ඇති නමුත්, ඉහල යන ඉල්ලුම හමුවේ ඉන්දීය රුපියලේ අවප්‍රමාණ වීම සැලකිව යුතු ලෙස අඩුවී තිබෙනවා.
ශක්තිමත් මුදල් ඒකකයක් සමග සමගාමීව ශ්‍රී ලංකා රුපියල ගමන් කිරීම මගින් දේශීය මුදල් ඒකකයටද වඩා වැඩි ශක්තියක් නිරායාසයෙන්ම හිමි විය හැකි අතර රුසියානු යුක්රේනය ආක්‍රමණයෙන් පසුව, දකුණු කෙර්සන් කලාපයේ යුක්රේනියානු හ්රිව්නියා සමඟ රූබල් භාවිත කිරීම මේ සඳහා ලොව පවතින කදිම උදාහරණයක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඒ හා සමානව, හයිටිය එක්සත් ජනපද ඩොලරය එහි දේශීය මුදල වන ගෝඩ් සමඟ භාවිත කරන අතර, කාම්බෝජය බොහෝ නිල ගනුදෙනු සඳහා එක්සත් ජනපද ඩොලරය කාම්බෝජයේ රියාල් සමඟ භාවිත කරනු ලබන අතර එමනිසා ඉන්දීය රුපියල ශ්‍රී ලංකාවේ නිල තත්වයෙන් භාවිත කිරීම කිසි ලෙසකින්වත් අවාසිදායක නොවනු ඇති බවත් එය නිසි කළමනාකරණයක් යටතේ භාවිතයට යොමුකිරිමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව සෘජුවම පවරාගත යුතු බවත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.