සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් විනයගරුක පුරවැසියෙක් ගොඩනැගිය හැකියි

සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් විනයගරුක පුරවැසියෙක් ගොඩනැගිය හැකියි

සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් විනයගරුක පුරවැසියෙක් රට තුළ ගොඩනැගිය හැකි බවත්, එහිදී ප්‍රාසාංගික ක්ෂේත්‍රයේ කලාකරුවන්ට දැඩි වෘත්තිමය සහ සමාජ වගකීමක් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා

අද (25) පස්වරුවේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා

ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව ආර්ථික වශයෙන් ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අමතරව ඔවුන්ගේ කටුක ජීවන රටාවට අස්වැසිල්ලක් වෙමින් සංස්කෘතික ජීවිතයක් ලබා දීමේ වැදගත්කම ද ඔහු එහිදී පැහැදිලි කර තිබෙනවා

රට තුළ මෙන්ම විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අහිමි වී ගිය සංස්කෘතික ජීවිතය නැවත සමීප කරවීම වෙනුවෙන් එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් සිදු කරන මෙහෙය මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය ස්තූතියද පළ කළා

එමෙන්ම උතුර දකුණ යා කළ හැකි සංස්කෘතික පාලම ගොඩ නැගිය හැක්කේ කලාකරුවන්ට බව පැවසු ජනාධිපතිවරයා සමස්ත රට පුරා සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමේ සැබෑ වුවමනාව වත්මන් රජයට තිබෙන බවත්, ඒ සඳහා ලබාදිය හැකි අනුග්‍රහයන් ලබා දෙන බවටත් එහිදී පොරොන්දු වී තිබෙනවා

ශ්‍රී ලංකා ප්‍රසංග හා සැණකෙලි සංවිධායකවරු හා සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංසදය, සංගීත කණ්ඩායම් සංසදය, ගායක ගායිකා සංසදය, නිවේදක සංසදය, නර්තන කණ්ඩායම් සංසදය, ශබ්ද පරිපාලකවරුන්ගේ එකමුතුව ඇතුළු එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් රැසක් මීට එක්ව සිටී අතර ක්ෂේත්‍රය තුළ කටයුතු කරගෙන යාමේදී ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරුණා

එම ගැටලුවලට එම අවස්ථාවේදීම ප්‍රමාණවත් විසදුම් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර එය සහභාගී වූ පිරිසගේ පැසසුමට ද ලක් වුණා

එසේම එම ක්‍රියාමාර්ගවල ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා

Share This