
සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම කොළඹ දී
සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ගේ ප්‍රධානත්වයෙන් අද (16) කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටුවා ඇති පළමු සහ දෙවන ලෝක යුද්ධ සටන්වලදී දිවි පිදූ හමුදා සාමාජිකයින් සිහිකිරීමේ ස්මාරකය අභියස දී පැවැත් වුණා.
මෙම ස්මාරකය හැඳින්වෙන්නේ කොළඹ Cenotaph War Memorial ලෙසයි.
එය ශ්‍රී ලංකාවේ (එවකට) හමුදා නිලධාරීන් ලෝක යුද්ධ දෙකේදී (පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය) සටන්වලදී මියගිය අය වෙනුවෙන් පිහිටුවා ඇති ස්මාරකයක්.
මෙය නිර්මාණය කර ඇත්තේ ශ්‍රීමත් එඩ්වින් ලෑන්ඩ්සීර් ලුටෙන්ස් (Sir Edwin Landseer Lutyens) ගෘහ නිර්මාණ ශිල්පියායි.
මෙම ස්මාරකය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ ප්‍රධානතම යුද ස්මාරකවලින් එකක් වන අතර, වාර්ෂිකව Remembrance Day (නොවැම්බර් 11 ට ආසන්නතම ඉරිදා) දින මෙහිදී ජාතික සැමරුම් උත්සවයක් පවත්වනු ලබනවා.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය ස්මාරකය වෙත පොපි මල් කළඹ තැන්පත් කර දිවි පිදූ හමුදා සාමාජිකයින් සිහි කරමින් පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.
මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් පළමු ලෝක යුද්ධ සමයේ සිට මේ දක්වා දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයින් අනුස්මරණය කිරීම සහ ඔවුන්ගේ උදාර කැපවීමට ගෞරව දැක්වීම මෙම වාර්ෂික සැමරුමේ ප්‍රධාන අරමුණයි.
පළමු ලෝක යුද්ධයෙන් දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයින් සිහිකිරීම සඳහා පොපි මල් දිනය මහා බ්‍රිතාන්‍යය විසින් 1919 සිට සමරනු ලබන අතර, මෙහිදී පොපි මල (Poppy) ප්‍රධාන සංකේතය බවට පත්ව තිබෙනවා.
මෙම මල සදාකාලික සිහිවටනයක් බවට පත් කිරීමට මූලික වී ඇත්තේ බෙල්ජියමේ යුද පිටියකදී, මිතුරෙකුගේ මරණයෙන් කම්පාවට පත් වූ ලුතිනන් කර්නල් ජෝන් මැක්ක්‍රේ විසින් සොහොන් මත වැඩුණු පොපි මල් දකිමින් රචනා කරන ලද “In Flanders Fields” කවිය යි.
පසුකාලීනව, ඇමරිකානු තරුණ සංගමයේ ලේකම්වරිය වූ මොයිනා මයිකල් මහත්මිය පොපි මල් විකුණා ලබාගත් මුදල් මියගිය හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සුබසාධනය සඳහා යොදා ගැනීමත් සමඟ, මෙම පොපි මලෙහි වැදගත්කම ලොව පුරා තහවුරු වුණා.
පොපි මල් සැමරුම සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්රවීණයන්ගේ සංගමය හා සන්නද්ධ සේවාවන් සමඟ එක්වයි.
මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයා වයිෂ් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ත්‍රිවිධ හමුදාපතිවරු, විශ්‍රාමික ත්‍රිවිධ හමුදාපතිවරුන්, විදේශීය තානාපතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්රවීණයන්ගේ සංගමයේ සභාපති, ලේකම් ඇතුළු සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියා.








