සමාජ සේවා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්

සමාජ සේවා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා, එක් එක් කණ්ඩායම් වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන නිසි ලෙස භාවිත කරමින් ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළ ඵලදායීව ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

එමගින් ගමට මුදල් ගලා යාම සමඟ ග්‍රාමීය ආර්ථිකය වේගයෙන් වර්ධනය කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

අදාළ ව්‍යාපෘති සහ වැඩසටහන් විධිමත්ව සහ සැලසුම්සහගතව ක්‍රියාවට නංවමින් ජනතාවට මෙම ප්‍රතිලාභ අත්කර දීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

සමාජයේ සිටින ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ඔවුන් සමාජයේ අව වරප්‍රසාදිත පුද්ගලයින් ලෙස සැලකීම වැළැක්වීමට ගත හැකි සියලු පියවර ගැනීමටත් මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

සමාජ සේවා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් වෙනුවෙන් මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කරන ලෙසද නිලධාරීන් වෙත ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

 

Share This