සැකය සහ වෛරය වෙනුවට සහෝදරත්වයට සහ ප්‍රේමයට හජ් උත්සවය ආශිර්වාදයක් – ජනපති

සැකය සහ වෛරය වෙනුවට සහෝදරත්වයට සහ ප්‍රේමයට හජ් උත්සවය ආශිර්වාදයක් – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට හා ලෝක වාසී සියලු‍ ඉස්ලාම් බැතිමතුන්ට, උතුම් ඊද් – උල්- අල්හා දිනයකට සුබ පැතුම් එක් කරනවා.

ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය හා අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් උත්සවය සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙන් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ලොව නන් දෙසින් මක්කම නගරය වෙත පැමිණෙන සියලු‍ ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මෙම හජ් වන්දනාවෙන් ගම්‍ය වන්නේ අන් සියලු‍ ආගමිකයන් සමඟ ද සමානාත්මතාවෙන් යුතුව දිවි ගෙවීමේ ශික්ෂණය බවට දැඩි ව විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා පවසනවා.

රටක් ලෙස අප ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් අප අපේක්ෂා කරන දියුණු සහ ශිෂ්ටසම්පන්න රට ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය සිදු කිරීමේදී සියලු‍දෙනාගේ සාමුහික උත්සාහය, මැදහත්වීම සහ සහභාගිත්වය ඉතා වැදගත්වනවා.

හජ් සැමරුම එකී පොදු අරමුණ වෙනුවෙන් එක් ව අත්වැල් බැඳ ගැනීමට අගනා අවස්ථාවක් නිර්මාණය කරන බවද ජනාධිපතිවරයා සිහිපත් කර සිටිනවා.

එකිනෙකා දෙස සැකයෙන් සහ වෛරයෙන් බලන සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන් සියලු‍දෙනා එක් ව දිවි ගෙවන දියුණු සහ ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැඟීමට අප රජය දරන උත්සාහයේදී සිය ශුද්ධ වූ විශ්වාසය සමඟින් සියලු‍ ඉස්ලාම් බැතිමතුන් එක් ව සමරන හජ් සැමරුම, මහඟු‍ ආශිර්වාදයක් බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුභ පැතුම් පණිවිඩය අවධාරණය කරන්නේ.

Share This