
සිරි දළදා වන්දනාව හෙටින් ඇරඹේ – සැදැහැවතුන්ට විශේෂ නිවේදනයක්
මහනුවර සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම අද (17) සිට ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව හෙට (18) වනදා පස්වරු 03.30ට ආරම්භ කරනු ලබන සිරි දළදා වන්දනාව ලබන 27 වනදා දක්වා දින 10ක කාලයක් දහවල් 12.00 සිට පස්වරු 05.30 දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
සැදැහැවතුන් පැමිණෙන රථ වාහන මහනුවර නගරය වෙත පැමිණීමත් සමඟ නගරයේ ඇති විය හැකි වාහන තදබදය අවම කරගැනීම සඳහා රථ වාහන මහනුවර නගරයට ඇතුළු වීම අද සිට සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කළා.
ඒ අනුව සිරි දළදා වන්දනාව සඳහා සැදැහැවතුන් පැමිණෙන රථ වාහන ගාල් කිරීමට විශේෂ ස්ථාන සකස් කර ඇති අතර එම ස්ථානවල සිට ශ්‍රී දළදා මාළිගාව දක්වා බස් රථ සේවා මඟින් ප්‍රවාහන පහසුකම් සැලසීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
එමෙන්ම සිරි දළදා වන්දනාවෙන් අනතුරුව සැදැහැවතුන් හට යළි රථ ගාල් වෙත පැමිණීම සඳහා ද පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කර ඇති බව මහනුවර දිස්ත්‍රික් කොට්ඨාස රථවාහන අංශය භාර පොලිස් අධිකාරී දයාල් ඉලංගකෝන් මහතා ප්‍රකාශ කළා.
මහනුවර වැව රවුමේ රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත ඔස්සේ එක් පෝලිමක් ද, අවන්හල දෙසින් උල්පැන්ගේ ඉදිරිපිටින් තවත් පෝලිමක් ද ලෙස වැව රවුම ඔස්සේ පෝලිම් දෙකකින් බැතිමතුන් මහ මළුව වෙත රැගෙන ඒමට නියමිතයි.
ඊට අමතරව ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ඇති පෝලිමේ පැමිණෙන බැතිමතුන්, පත්තිනි දේවාලය ඉදිරිපිට වතුර මල අසලින් මහ මළුවට ඇතුළු කිරීමට නියමිතයි.
සිරි දළදා වන්දනාව සඳහා ලක්ෂ 20කට අධික දෙස් විදෙස් බැතිමතුන්ගේ පැමිණීම අපේක්ෂා කරන අතර අදාළ කාලය තුළ ශ්‍රී දළදා වහන්සේගේ සහ දළදා මාලිගාව අවට පරිශ්‍රයේ ආරක්ෂාව, පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10,000ක් සහ ත්‍රිවිධ හමුදාව විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
තවද, දළදා වන්දනාව සඳහා පැමිණ නගරයේ රැය පහන් කරන ජනතාව වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව මඟින් විශේෂ දන්සල් දෙකක් ක්‍රියාත්මක කරන අතර එමඟින් දෛනිකව 30,000කට ආහාර ලබා දීමට සැලසුම් කර ඇති අතර දළදා මාලිගා පරිශ්‍රයෙන් පිටත දන්සල් ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලයන් හා සංවිධාන 200කට ආසන්න සංඛ්‍යාවක් මහනුවර මහ නගර සභාවෙන් ඉල්ලීම් කර තිබෙනවා.
ඒ අනුව, දළදා වන්දනා සමයේ දන්සල් ලබාදීමට අවසර ලබා දෙන්නේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් ඔස්සේ ලියාපදිංචිය ලබා ගන්නා අයට පමණක් බවත් මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පසන් ජයසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මේ වනවිට බෞද්ධ ජනතාවට අමතරව කතෝලික, ඉස්ලාම් හා හින්දු බැතිමතුන් ද දන්සල් ලබාදීමට අනුමැතිය ඉල්ලා ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පවසයි.