සුරාබදු ආඥාපනතේ නව බදූ නීති අද සිට බලාත්මකයි

සුරාබදු ආඥාපනතේ නව බදූ නීති අද සිට බලාත්මකයි

මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ අත්සනින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම නව නීති අද (28) දිනයේ සිට ක්‍රියාත්මකයි.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සෑම බලපත්‍රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත්කරමින්.

බලපත්‍ර ලාභියා විසින් නිෂ්පාදනය කරනු ලබන සෑම මත්පැන් ලීටරයක් මත නියමිත දිනට හෝ එදිනට පෙර බද්ද ගෙවිය යුතු බව නව ගැසට් නිවේදනයෙන් දන්වා තිබෙනවා.

නියමිත දිනට බද්ද ගෙවීමට බලපත්‍ර ලාභියකු අපොහොසත් වූ විට ගෙවිය යුතු බද්දට අමතරව එම ගෙවිය යුතු බද්ද මත සරල මාර්ග ක්‍රමය අනුව ගණනය කරනු ලබන මසකට සියයට 3 ක ගාස්තුවක් ගෙවීමට බලපත්‍ර ලාභියා බැඳී සිටින බව ගැසට් නිවේදනයේ සඳහන්.

ඒ අනුව නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපොහොසත් වන බලපත්‍ර ලාභීයෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව නව ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

මීට පෙර මෙම නීතිය ක්‍රියාත්මක නොවු අතර එය නව නීතියක් ලෙස හඳුන්වා දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ඇත්තේ ඊට අමතරව නියමිත දින සිට දින 90ක් ඉක්මවන කාලයක් සඳහා ගෙවිය යුතු බද්ද හා ගාස්තුව සම්පූර්ණයෙන් නොගෙවා ඇතිවිට එම බලපත්‍රලාභියාගේ සියලු බලපත්‍ර අත්හිටුවීමටයි.

මීට පෙර බලපත්‍ර අත්හිටුවීමේ කාලය මාස 6 ක් දක්නා පැවති අතර එය මාස 3 දක්වා කෙටි කිරීමට නව ගැසට් පත්‍රය මඟින් පියවර ගෙන තිබෙනවා.

මෙම නව බදු ගෙවීමේ කාලසීමාව සංශෝධනය කිරීමට තීරණය කර ඇත්තේ සුරාබදු ගෙවීම් පැහැර හැරීම අවම කිරීමේ අරමුණින්.

Share This