හදිසියේ ලෝක කුසලාන තරගාවලියේ වෙනසක් – ශ්‍රී ලංකාවත් ඒ අතරට

හදිසියේ ලෝක කුසලාන තරගාවලියේ වෙනසක් – ශ්‍රී ලංකාවත් ඒ අතරට

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝධනයක් සිදු කර තිබෙනවා.

මීට පෙර නිකුත් කළ කාලසටහනෙහි ඇතුළත්ව තිබූ තරග 09ක් ඒ අනුව සංශෝධනයට ලක් වූ බවයි ICCය හෙවත් ජගත් ක්‍රිකට් කවුන්සලය අද(09) පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළේ.

ඒ අතරට, ඉන්දියාව හා පාකිස්ථානය අතර තරගය මෙන්ම ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර තරගය ද ඇතුළත්.

ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා පාකිස්ථානය අතර තරගය ඔක්තෝබර් 15වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එය ඔක්තෝබර් 14 වැනිදා අහ්මදාබාද්හී දී පැවැත්වීමටයි නව සංශෝධනයට අනුව තීරණය කර ඇත්තේ.

ඒ හේතුවෙන් ඇෆ්ගනිස්ථානය හා එංගලන්තය අතර තරගය ඔක්තෝබර් 14 වැනිදා නොපවත්වා එම තරගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර තරගය ඔක්තෝබර් 12 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, ICCය අද සදහන් කළේ එම තරගය ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වෙන බවයි.

එමෙන්ම ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර තරගය ද ඔක්තෝබර් 13වැනිදා නොපවත්වා ඔක්තෝබර් 12වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, ඔක්තෝබර් 14 වැනිදා චෙන්නායි හී දී දහවල් තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්ත – බංග්ලාදේශ තරගය ඔක්තෝබර් 13 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

Share This