හයිටියට විදේශ හමුදා යැවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය

හයිටියට විදේශ හමුදා යැවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හයිටියට සන්නද්ධ බහුජාතික හමුදාවක් යැවීමට අනුමැතිය ලබා දී තිබෙනවා

හයිටි අගමැති ඒරියල් හෙන්රි විසින් නැවත නැවතත් හමුදා ආධාර ඉල්ලා සිටීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් සහ එක්සත් ජනපදය ද එවැනි මෙහෙයුමකට සහාය දෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් දැඩි ලෙස ඉල්ලා තිබෙන බවද සඳහන් වනවා

කවුන්සිලයේ සාමාජිකයින් 13 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර රුසියාව සහ චීනය ඡන්දය දීමෙන් වැළකී සිටි බවයි පැවසෙන්නේ

හයිටියේ අගනුවර සහ ප්‍රධාන වරාය වන පෝට්-ඕ-ප්‍රින්ස් හි වැඩි ප්‍රමාණයක් සටන් කරන කල්ලි පාලනය කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

හයිටි රාජ්‍යයේ පැවති විරෝධතාවයකට කල්ලියක් විසින් වෙඩි තබා ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගිය බව මානව හිමිකම් කණ්ඩායම් පවසනවා

පසුගිය සැප්තැම්බර් 22 දා නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් අගමැති හෙන්රි සෙසු රටවලට පවසා ඇත්තේ සාමය යළි ස්ථාපිත කිරීම සඳහා ආරක්ෂක කවුන්සිලය විසින් හමුදා මෙහෙයුමක් අනුමත කිරීම අවශ්‍ය බවයි.

ප්‍රචණ්ඩත්වය රට පුරා පුළුල් අස්ථාවරත්වය උග්‍ර කර ඇති බවත් උද්ධමනය 50% ඉක්මවා ගොස් ඇති බැවින්, මිලියන 4.9 ක් හයිටි වැසියන් ආහාර අර්බුදයක සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා

එදිනම ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ සැලැස්මට සහය දෙන ලෙසත් පිරිස් ඇතුළුව ආධාර සපයන ලෙසත්, වොෂින්ටනය මූල්‍ය සහ සැපයුම් ආධාර සැපයීමට සූදානම් බවත්ය

 

Share This